පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටු කිරීම සිය අභිලාශය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. නෙළුව ලංකාගම මාර්ගය ප්‍රතිසංස්කරණයේදී සිංහරාජ වන රක්ෂිතයට හානි සිදුවන බවට එල්ල වූ චෝදනා පිළිබඳ සොයා බැලීම සදහා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදියි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ.
කෙසේ වෙතත් නෙළුව ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු දින 90 ක් තුළ අවසන් කරන ලෙසටයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. එමෙන්ම වන රක්ෂිතයට හා පරිසර පද්ධතීන්ට මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් කිසිදු හානියක් සිදු නොවිය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.
ලංකාගම පිටදෙණිය මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් පරිසර හානියක් සිදුවන බවට පසුගියදා මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවුණා. 1970- 1977 කාලයේදී සලකුණු කරන ලද මාර්ගයක් වන මෙම මාර්ගය සංවර්ධනය කර දෙන ලෙසට ලංකාගම, වාරුකංදෙනිය, දොඹගොඩ සහ වතුගල යන ප්‍රදේශවල ජනතාව දිගුකාලයක් තිස්සේ බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද එම ඉල්ලීමට නිසි ප්‍රතිචාර ලැබුණේ නැහැ. කෙසේ වෙතත් නෙළුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මෙම ජනතාව සිදුකළ ඉල්ලීමකට අනුවයි මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ. එහෙත් රාජ්‍ය නොවන පරිසර සංවිධාන කිහිපයක් ජනාධිපතිතුමා වෙත ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත්තේ අදාළ මාර්ගය සංවර්ධනය කිරීම හේතුවෙන් සිංහරාජ වනාන්තරය ආශ්රිත පරිසරයට හානි සිදුවන බවයි. එමෙන්ම මෙම මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සදහා පරිසර සංවිධානවලින් කිසිදු අවසරයක් ගෙන නැති බවද ඔවුන් එම ලිපියෙන් දන්වා තිබෙනවා. ඒ අනුව මෙම මාර්ගය පුළුල් කිරීමේ කටයුතු නතර කරන ලෙසටයි ඔවුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ.
කෙසේ වෙතත් මෙම මාර්ගයේ සැබෑ ප්‍රතිලාභීන් වන ලංකාගම සහ වාරුකංදෙනිය ඇතුළු අනෙකුත් ගම්මානවල වැසියන් පරිසර සංවිධාන සිදුකළ එම චෝදනාවට දැඩි විරෝධයක් පළකරනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විවිධ මතවාදයන් පළවූ අතර රජය අපහසුතාවට පත් කිරීම අරමුණුකර ගනිමින් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධියට අදාළව අසත්‍ය කරුණු රැසක් ප්‍රචාරය කිරීමට කටයුතු කළා. මේ සියල්ල පිළිබද අවධානය යොමුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද දිනයේ දී දෙණියායේ සිට නෙළුව දක්වා දිවෙන මෙම මාර්ගයේ සැබෑ තත්ත්වය සොයා බැලීම සදහා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. නෙළුව, උඩුගම, කරාපිටිය යන රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට මාර්ගයක් නොමැති වීම නිසා ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට හා දෛනික ගමනාගමන කටයුතුවලදී නිසි ප්‍රවාහන ක්‍රමවේදයක් නොමැතිවීම සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිතුමාගේ දැඩි අවධානයට ලක්වුණා.
කෙසේ වෙතත් මාර්ග සංවර්ධන වනජීවි, වන රක්ෂණ සහ පරිසර යන අමාත්‍යාංශවලට අදාළ නිලධාරීන් ද ජනාධිපතිතුමා සමග මෙම මාර්ගය නිරීක්ෂණය කිරීම සදහා එක්වුණා. මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ යුද හමුදාව මෙම ප්‍රතිසංස්කරණය භාරව කටයුතු කරන අතර මාස 3 ක් ඇතුළත කිලෝමීටර 18 ක ප්‍රමාණයක් නිම කිරීම සදහා මෙහිදී උපදෙස් ලබා දුන්නා. අද වන විට ලංකාගම සිට දෙණියාය දක්වා ගමන් කිරිමට පැය 4 කට ආසන්න කාලයක් ගත වන අතර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු එම කාලය විනාඩි 45 ක් දක්වා අඩු වන බවයි සඳහන් වන්නේ. මාර්ග ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට කිසිදු හානියක් නොවිය යුතු බවට ද ජනාධිපතිතුමා මෙහිදී තරයේ අවවාද කළා. එමෙන්ම ප්රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙණියාය දක්වා බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා.
මේ අතර ලංකාගම ග්‍රාමයේ ඇති වැල් පාලම වෙනුවට දිගින් අඩි 120ක් හා පළල අඩි 6 කින් යුක්ත පාලමක් ඉදිකිරීම ද මීට සමගාමීව සිදු කෙරෙනවා. වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොලොන්තොටුව හා පිටදෙණිය යන ගම්මානවල දරුවන්ට පාසල් යාමට මෙතෙක් පැමිණි බාධාව මෙම පාලම ඉදිවීමත් සමග ඉවත් වනවා. එමෙන්ම පවුල් 700 ක් පමණ ජීවත් වන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැළ 3 බැගින් නොමිලේ ලබාදෙන ලෙසටත් අනතුරුව වගා කරන ලද එම පැළ ඔවුන්ටම වන සංරක්ෂිතයට දායාද කරන ලෙසටත් ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මෙම සිදුවීම පිළිබඳ හරිහැටි අධ්‍යයනයක් නොකරමින් පරිසරවේදීන් කණ්ඩායමක් සිදු කළ බලපෑම පිළිබඳ මෙහිදී ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කළා. මූලික අවශ්‍යතාවත් සපුරා ගැනීමට නොහැකිව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මාර්ගයක් ඉදිකර දීමට ජනාධිපතිතුමා ගත් තීරණය වෙනුවෙන් මහා සංඝරත්නයේ ද ආශිර්වාදය පළ වුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් ද රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.