පලස්තීනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා දැක්වූ සහයෝගය තම ජනතාව කිසිදා අමතක නොකරන බව ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් ඩා සයිඩ් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.
පසුගිය මහ මැතිවරණය පිළිබද අදහස් පළකළ පලස්තීන තානාපතිවරයා සදහන් කළේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වුණු සාමකාමී සහ ප්රජාතන්ත්රවාදී ඡන්ද විමසුම පිළිබදව සියලු පලස්තීන ජනතාව සතුටට පත්වන බවයි. පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතාගේ සුබාශිංසනද තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙත ගෙන ආවා. 2014 වසරේ දී ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පලස්තීනයේ කළ සංචාරය ද සයිඩ් මහතා සිහිපත් කළා. පලස්තීන රජය මහින්ද රාජපක්ෂ මහතාට පලස්තීනයේ තරුව ගෞරව සම්මානය ද පුදකර තිබෙනවා. පලස්තීන සහයෝගීතා කමිටුවේ ආරම්භක සභාපතිවරයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතායි. කොවිඩ් නයින්ටීන් වසංගතය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තානාපතිවරයා සදහන් කළේ වෛරසය මැඩලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ඇෆ්ගන් තානාපති අශ්රොෆ් හයිදාරි මහතා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදීයි. දෙරට අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ ඔස්සේ දෙරට අතර වෙළෙඳ, ආර්ථික හා විවිධ අංශ ඔස්සේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද අවකාශ සැලසෙන බවයි අවධාරණය කෙරුණේ. පසුගිය මහ මැතිවරණයේ දී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා වෙත ඇෆ්ගන් තානාපතිවරයා සුබාශිංසන පළ කළා. එම ජයග්‍රහණය ප්රජාතන්ත්රවාදය සදහා ලැබුණු විශාල රුකුලක් බවයි හයිදාරි මහතා පෙන්වා දුන්නේ. වත්මන් ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රොෆ් ගානි හා හිටපු ජනාධිපති හමීඩ් කර්සායි යන මහත්වරුන්ගේ සුබ පැතුම් ද අග්‍රාමාත්‍යවරයා වෙත ගෙන ඒමට තානාපතිවරයා කටයුතු කළා. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම,වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා වන සංචාරක කර්මාන්තය, මැණික් කර්මාන්තය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
මේ අතර ශ්‍රී ලංකාවේ වැඩ බලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වොන්ස්ටෝල් මහත්මිය ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදීයි. පසුගිය මහ මැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් මහා බ්‍රිතාන්‍ය යේ සුබ පැතුම් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා ශක්තිමත් ජනතා බලයක් ඇති බව ද සදහන් කළා. රජයේ ඉදිරි ප්‍රමුඛතා පිළිබදව ද බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය මෙහිදී විමසීමක් සිදු කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ රජයේ ප්‍රමුඛතම අරමුණක් වී ඇත්තේ ආර්ථික සංවර්ධනය බවයි. වෙළෙඳ සබදතා දියුණු කිරීම ආයෝජන ප්‍රවර්ධනය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල වර්ධනය, කෘෂිකර්මාන්තය දියුණු කිරීම හා දිළිදුකම තුරන් කිරීම රජයේ ප්රමුඛ අරමුණ වී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළා.