අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වහා අහෝසි කරන්නැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා. මෙම මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ කිහිප නමක් වාදවිවාද ඇතිකර ගැනීම හේතුවෙන් ශාසනයට සිදුවන අපකීර්තිය සැළකිල්ලට ගෙන මෙසේ ඉල්ලා තිබෙනවා.
මෙවර මහ මැතිවරණයෙන් කොඩිය ලකුණෙන් තරග කළ අපේ ජන බල පක්ෂය ඡන්ද හැටහත් දහස් හත්සිය පනස්අටක් ලබාගත්තා. ඊට අදාළව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවූ අතර එය නම් කිරීමේ දී මතුවූයේ අර්බුදකාරී තත්ත්වයක්. ඒ අනුව මෙතෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නම්කර නොමැති අතර මතුවූ ගැටලුව විසදා ගැනීම සදහා මැතිවරණ කොමිෂන් සභාවට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ද සිදුවුණා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හෝ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම මන්ත්‍රී ධුරයට තෝරා පත්කර ගැනීම පිළිබදව සංවාදයක් මතුවූ අතර එහි තීරණාත්මක සාධකයක් වුණේ අපේ ජන බල පක්ෂයේ ලේකම්වරයා වන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්. උන්වහන්සේ අතුරුදන්ව සිටි බවට ද මාධ්‍ය වාර්තා පළවූ අතර උන්වහන්සේට විරුද්ධව යක්කල සහ වීරගුල පොලිස් ස්ථානවලට ද පැමිණිලි ඉදිරිපත්කර තිබුණා. කෙසේ වෙතත් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ප්‍රකාශ කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනත් පාර්ශ්වයකින් ලබාගෙන මුදලට අලෙවිකිරීමේ සූදානමක් ද පවතින බවයි. විමලතිස්ස හිමියන්ගේ අතුරුදන්වීම පිළිබදව පැමිණිල්ලක් කළ උන්වහන්සේගේ සම්බන්ධිකරණ ලේකම් පූජ්‍ය හුනුපිටියේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ පොලීසිය සමග අද රතන හිමියන් වැඩසිටින සදහම් අරණට පැමිණියා. එහෙත් රතන හිමියන් මුණගැසීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.
තත්ත්වය එසේ තිබියදී විශේෂ ප්‍රකාශයක් කරමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ මාධ්‍ය හමුවේ කියාසිටියේ අපේ ජන බල පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස තමන් වහන්සේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/_3qDVRWZdZY”]