2019 වසරේ අප්‍රේල් මස 20 වනදා වන විට යම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් සූදානමක් පවතින බවට තමන් හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.
අප්‍රේල් 21 වනදා හිටපු ජනාධිපතිවරයාට පිපිරීම සම්බන්ධයෙන් කරුණු හෙළි කළ මොහොතේ හරි මම ලේකම්තුමාට කතා කරන්නම්, යනුවෙන් පමණක් පිළිතුරු ලැබුණු බවද නිලන්ත ජයවර්ධණ මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියා.
නිලන්ත ජයවර්ධන මහතා මෙම කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ 16 වන දිනටයි. හිටපු ජනාධිපතිවරයාට අදාළ තොරතුර දැනුම් දීමට නොහැකි වුවත් එවකට ජනාධිපති ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටවත් එම තොරතුරු ලබාදීමට කටයුතු නොකළේ මන්දැයි කොමිසම විමසා සිටියා. මෙහිදී ඒ සඳහා තමන් කටයුතු නොකළ බව නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ අද පිළිගත්තා.
“මේ තරම් වැදගත් තොරතුරක් හිටපු ජනාධිපතිට දැනුම් දෙන්න නැවත වරක් උත්සාහ කිරීමට ඔබට හිතුනේ නැද්ද” කොමිසම ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මට වුවමනා වුණේ ඇක්ෂන් ගන්න. කොහොම හරි ප්‍රහාරය වළක්වා ගන්නයි අවශ්‍යතාව තිබුණේ. ආරක්ෂක ලේකම් පමණක් දැනුවත් කර මට ඉන්න තිබුණා. තුවක්කුව අරන් පාරට බහින එක විතරයි මම නොකළේ. යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.
පළමු ප්‍රහාරය වාර්තා වූ මොහොතේ තමාට දැනුනේ කිනම් හැඟීමක්දැයි කොමිසම විමසා සිටි අවස්ථාවේදී ඉතා සංවේදී වූ ඒ මහතා හඬා වැටෙමින් පිළිතුරු දුන්නේ “කණගාටු හිතුණා” “ඇයි කණගාටු හිතුණේ” කොමිසම යළි ප්‍රශ්න කළා.
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා මම වුණු නිසයි. මම උත්සාහ කළා. ඒත් මට බැරි වුණා ස්වාමීනි යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා පවසා සිටියා. “අගමැතිටවත් ඔබ මෙම තොරතුරු දැනුම් නොදුන්නේ ඇයි” කොමිසම නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඒ මහතා මගේ අධීක්ෂණ නිලධාරියා ආරක්ෂක ලේකම්වරයා පමණයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටවත් මේ පිළිබඳ දැනුම් නොදුන්නේ බොහෝ අවස්ථාවලදී එතුමන් හා මා අතර සක්‍රීය සම්බන්ධතාවක් නොතිබූ නිසයි යනුවෙන් ප්‍රකාශ කළා.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බලන පොලිස් විමර්ශන ඒකකය වෙත හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අද පැමිණියා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද අද පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණත් ඒ මහතා අද පැමිණ සිටියේ නැහැ.