2016 වසරේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කළේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනාට අධි චෝදනා භාරදීම සිදු වුණා.
රියදුරු වන දිලුම් තුසිත කුමාර හා එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරුන්ට මෙසේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදීයි අධි චෝදනා භාරදීම සිදු වුණේ. එම විත්තිකරුවන් දෙදෙනාම රුපියල් දස දහස බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.
විත්තිකරුවන් විදේශගත වන්නේ නම් අධිකරණය දැනුවත් කර පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව ද අවධාරණය කෙරුණා. නඩුවේ පළමු විත්තිකරු වන පාඨලී චම්පික රණවක මහතා අද (20) දින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන බැවින් ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ලබන 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීමට විනිසුරුවරයාගේ අවසරය ලබා දී තිබුනා.