උපාධිධාරීන් පනස්දහසකට සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ප්රදානය කිරීමේ වැඩසටහන වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණයකර තිබෙනවා.
මැතිවරණයට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මැතිවරණ කොමිසමේ නියමයට අනුව මෙම වැඩසටහන අතරමග නතර කෙරුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය නොවැම්බර් මාසයේ ධුරයට පත්ව සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් පනස්දහසක් සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැළසුම් කළා. රැකියා පනස්දහසක් වෙන් කෙරෙනුයේ රැකියා විරහිත උපාධිධාරීන් සදහායි. ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ලබන පවුල්වලින්. උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැදවා සුදුස්සන් තෝරා ගැනීම පසුගිය පෙබරවාරි මුල් සතියේ ආරම්භ කළා. අඩු ආදායම් ලාභි ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහු කාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායක් ස්ථාපනය කෙරුණා.
රැකියා ලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය ලබන ඉරිදා ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පළකරනු ලැබේ. ඔවුන් සදහා ලිපි යැවීම සදුදා සිට සිදුකෙරේ. පත්වීම් ලාභීන් ලබන පළමුවනදා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයි.
සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසිය යුතුයි. තෝරාගත් අඩු ආදායම් ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම ද අදාළ කාර්යසාධක බලකාය මගින් ලබන පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.