fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමගියේ සමඟිය කැඩෙන්න යන කොඩියේ ලණුව ගිලිහුනු ජාතික ලැයිස්තු අර්බුදය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2020 19:33

එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීම සම්බන්ධයෙන් අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. සමගි ජනබලවේගයේ  ජාතික ලැයිස්තු නියෝජිතයන් නම් කිරීම ඉදිරි දින දෙක තුළ සිදු කරන බවයි එම පක්ෂය සඳහන් කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයට මෙවර මහමැතිවරණයෙන් හිමිවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි. එම මන්ත්‍රී ධුරය සඳහා නම් රැසක් යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේදී ගන්නා බවයි පක්ෂ නියෝජිතයන් ප්‍රකාශ කළේ.

මේ අතර සමගි ජනබලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 සම්බන්ධයෙන් ද පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්. ඒ එම මන්ත්‍රී ධුර 07 සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිලිබඳ පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හට ගැනීමත් සමගයි. පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදෙන්නේ නම් තම පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන්  15 දෙනෙකු සමග ස්වාධීන වන බවට රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් සහ මනෝ ගණේෂන් යන මහත්වරුන් සමගි ජනබලවේගයට අනතුරු අඟවා ඇති බවට වාර්තා වනවා. මනෝ ගනේෂන් මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි මේ සම්බන්ධයෙන් සටහනක් ද තබා තිබුණා.  කෙසේ වුවද තම පක්ෂයේ ජාතික ලැයිස්තු නියෝජිතයින් සම්බන්ධයෙන්  තීරණය ඉදිරි දින දෙක තුළ ගන්නා බවයි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

මේ අතර ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ලබා දෙනේනේ කාටද යන්න පිළිබඳ තීරණය ද අද දිනයේදී ගැනීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා. ඒ සඳහා ද නම් කිහිපයක් යෝජනා වී තිබෙනවා.

මේ අතර අපේ ජනබල පක්ෂයට ද මෙවර මහමැතිවරණයෙන් හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි. ඒ සඳහා  පූජ්‍ය ගලගොඩඅත්තේ  ඥාණසාර ස්වාමීන්වහන්සේ නම් කිරීමට සියලු දෙනාගේ එකඟතාව ලැබී තිබුණා. එහෙත් එම පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදෙණියේ විමලතිස්ස ස්වාමීන්වහන්සේ අතුරුදන්ව ඇති බැවින් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වූ පූජ්‍ය  පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ ජනබල පක්ෂය හා ඉලංගෙයි අරසු පක්ෂය තම ජාතික ලැයිස්තු නියෝජිතයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා නම් කෙරුණු  සුරේන් රාඝවන් මහතා ද්විත්ව පුරවැසියකු බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙනුයි පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට  නම් කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සුරේන් රාඝවන් මහතා තම ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගෙන ඇති බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2020 19:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්