fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැන අවසන් තීරණය අද

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2020 09:49

තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා තීරණය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්ව සිටිනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන්නේ. පක්ෂයේ ප්‍රබලයන් රැසක් එක්ව සිටින මෙම සාකච්ඡාවේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති. මෙවර මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් හිමිවූ එක්සත් ජාතික පක්ෂයට එකම මන්ත්‍රි ආසනයක්  හෝ දිනාගැනිමට හැකිවූයේ නැහැ. ඔවුන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ පසුගිය දින කිහිපය තුළම විවිධ මත පළවුණා. කෙසේ වෙතත් අද දිනයේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ. එසේම එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව එම වාර්තා සඳහන් කරනවා.

මේ අතර සමඟි ජනබලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 සම්බන්ධයෙන් ද පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්. ඒ එම මන්ත්‍රී ධුර 07 සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හට ගැනීමත් සමඟයි. පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදෙන්නේ නම් තම පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන්  15 දෙනෙකු සමඟ ස්වාධීන වන බවට රවුෆ් හකීම්  , රිෂාඩ් බදියුදීන් සහ මනෝ ගණේෂන් යන මහත්වරුන් සමඟි ජනබලවේගයට අනතුරු අඟවා ඇති බවට වාර්තා වනවා. සමඟි ජන බලවේගයට ඒ සඳහා අද දිනය දක්වා කල් ලබා දෙන බවට ඔවුන් පවසා ඇති බවද එම  වාර්තා‍ සඳහන් කරනවා. පවත්නා තත්ත්වය හමුවේ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමද අද රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ලබා දෙනේනේ කාටද යන්න පිළිබඳ තීරණය ද අද දිනයේදී ගැනීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා. ඒ සඳහා ද නම් කිහිපයක් යෝජනා වී ඇති බව වාර්තා වුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2020 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්