ලෙබනනයේ බේරූට් නගරයේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ එරට තානාපති කාර්යාලය නිවේදනය කළා.
පිපිරීම්වලින් එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිල නිවාසවලට සිදුව ඇති හානි ප්‍රතිසංස්කරණය කරමින් පැවතිය ද පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීම සදහා තානාපති කාර්යාලය දිනපතා විවෘතව පවතින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙනවා.
මේ දක්වා මියගිය ශ්‍රී ලාංකිකයෙකු පිළිබද වාර්තා වී නැති බවයි ශ්‍රී ලංකාවේ එරට තානාපතිනි ශානි කරුණාරත්න මහත්මිය සදහන් කරන්නේ. කෙසේ වුවද පිපිරීමෙන් මේ වනවිට පුද්ගලයින් එකසිය පනස් හතර දෙනෙකු මියගොස් පන්දහස් පන්සියයකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම හදිසි ආපදා තත්ත්වය තුළ තානාපති කාර්යාලය හා නිරන්තරයෙන් සම්බන්ධවෙමින් එහි සේවාවන් හා උපදෙස් ලබාගැනීමට විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් යොමුව සිටින බවද තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
මෙම පිරිස් වෙත වියළි සළාක බෙදාදීමේ වැඩසටහන අඛණ්ඩව සිදුවන අතර තවත් විශාල පිරිසක් වියළි සළාක ඉල්ලා සිටින බැවින් සවිස්තරාත්මක තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ සාමසාධක භටයින් හා ලෙබනන් බලධාරීන් සමග ද ඉතා සමීපව කටයුතු කරන බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් තානාපති කාර්යාලය සංවිධාන කළ ලේ දන්දීමේ වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු කළා. කෙසේ වුවද පිපිරීමේ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බව පවසමින් ජනතාව විරෝධතා පවත්වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. පොලීසිය හා විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් ඇති වූ බවයි එරට ආරංචි මාර්ග සදහන් කරන්නේ.