ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය මුළු රටේම විජයග්රහණයක් කිරීම අධිෂ්ඨානය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පොදු ජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලු දෙනාට ස්තූතිය පළකරන බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය රට ලැබූ ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. කොවිඩ් වසංගතය හමුවේ ලෝකයම අකර්මන්‍ය වී ඇති කාලයක ජනතාව කෙරෙහි විශ්වාසය තබා මැතිවරණය පැවැත්වීමට තීරණය කළා. අසීරු තත්ත්වයකදී වුවද ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කටයුතු කිරීමට ජනතාව ඉදිරිපත් වීම ගැනට රටක් ලෙස සතුටු වන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. වසංගත තත්ත්වයක් හමුවේ මෙවැනි ප්රජාතන්ත්රවාදී තීරණයක් ගෙන එය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වුන රටවල් කිහිපය අතුරින් ශ්‍රී ලංකාව ප්රමුඛ වනවා.
ඡන්දය භාවිත කිරීමට පැමිණි සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය නිර්දේශ අකුරටම ඉටු කරමින් ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම සෞඛ්‍ය සේවය මෙන්ම ආරක්ෂක අංශ හා රජයේ නිලධාරීන්,මාධ්‍ය ලබා දුන් සහායට ද අග්‍රාමාත්‍යවරයා ස්තූතිය පිරිනමනවා. නියම විජයග්රහණයක් උපදින්නේ අභියෝග මතින්. මෙම ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩ නංවන ජයග්‍රහණයක් වන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම මැතිවරණය තුළින්, සෞභාග්‍යයේ දැක්ම තහවුරු කිරීමට හැකිවීම පිළිබඳ ලෝකයට ඔප්පු වන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා
මේ අතර 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීම සඳහා විශාල පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා. මහා සංඝරත්නය ද කාල්ටන් නිවසට වැඩම කර සෙත්පිරිත් සඡ්ඣායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළකලා.
මේ අතර පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සංකේතවත් කරමින් කොළඹ නෙළුම් කුළුණද වර්ණවත් ලෙස ආලෝකමත් වී තිබුණා.