මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයෙකු වන අනුරුද්ධ සම්පායෝ ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් සජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද නියෝග කළා. මීගමුව බන්ධනාගාරයේ රැදවූවන්ට පහසුකම් ලබාදීමේ චෝදනාවට අදාළ නඩුව විභාග කිරීමේ අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නේ.
දින 11 කට අධික කාලයක් සැගව සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පසුගිය දෙවනදා කුරුණෑගල දී පොලිස් භාරයට පත් වුණා. ඉන් අනතුරුව ඔහු ඊයේ දිනයේදී මීගමුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අදාළ නඩුව අද යළි කැද වූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සචින්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව ගොනු කර ඇති චෝදනාව ඇප පනතේ දාහතරේ එක වගන්තිය යටතේ ඇප ලබාදිය හැකි චෝදනාවක් බවයි.
ඒ අනුව ඕනෑම කොන්දේසියකට යටත්ව තම සේවා සේවාදායකයා වන අනුරුද්ධ සම්පායෝ මහතාට ඇප ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සදහන් කළේ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා තමාට එරෙහිව නිකුත් කෙරුණු වරෙන්තුව නොසළකා හරිමින් දින ගණනක් සැග වී සිටි බවයි. ඔහු අදාළ දිනවලදී සිදු කළේ කුමක්ද සහ රැදී සිටියේ කොහේද යන්න පිළිබදවද කිසිදු සදහනක් නැති බව ඒ මහතා අධිකරණය හමුවේ කියා සිටියා.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පොලිස් ස්ථාන ගණනාවක් තිබියදී ඔහු පොලිස් භාරයට ගැනීම සදහා මීගමුව පොලීසියම පැමිණීම පිළිබදව දැඩි සැකයක් පැන නැගී ඇති බවයි දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ. අනුරුද්ධ සම්පායෝ කුරුණෑගලදී රතු පැහැති කාර් රථයක නැගී මීගමුව පොලිස් ස්ථානය බලා පැමිණ ඇති අතර ඔහු පැමිණි වාහනය කාගේද වාහනයේ අංකය කුමක්ද සහ වාහනයේ පැමිණ ඇත්තේ කවුරුන්ද යන්න පිළිබදව කිසිදු සටහනක් අධිකරණයට දක්වා නැති බවද ඒ මහතා අධිකරණය හමුවේ කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කැදවා කරුණු විමසන ලෙසද ඔහු මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා. විත්ති පාර්ශ්වය විසින් අනුරුද්ධ සම්පායෝට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීමට තමන් දැඩි විරෝධය පළ කරන බවයි දිලීප පීරිස් මහතා අධිකරණයේදී සදහන් කළේ. ඒ අනුව මීගමුව මහේස්ත්‍රාත් සජින්ද්‍රා ජයසූරිය මහත්මිය සිය නියෝගය ලබා දෙමින් සදහන් කළේ අනුරුද්ධ සම්පායෝ යනු සාමාන්‍ය පුද්ගලයින්ට වඩා නීතිය පිළිබද දැනුමක් ඇති පුද්ගලයෙකු බවයි.
එවන් පුද්ගලයෙකු නීතිය දැන දැනත් නීතිය කඩ කිරීම විශාල වරදක් බව මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා. ඒ අනුව අනුරුද්ධ සම්පායෝ ඇතුළු පුද්ගලයින් සිව් දෙනා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. එමෙන්ම අධිකරණයට රැගෙන එන පිරිමි සැකකරුවන් රදවා තැබීම සදහා වෙනමම සිරමැදිරියක් තිබෙන අතර මෙම නඩුවට අදාළ සැකකරුවන් රදවා තිබුණේ කාන්තාවන් රදවන සිරමැදිරියේ වීමද කාගේත් අවධානයට ලක් වුණා.