fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොන බාධක ආවත් දුප්පත්කම තුරන් කරන ගමන නතර කරන්නේම නැහැ – ජනපති

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 18:08

දුප්පත්කම තුරන් කිරීම සඳහා ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. අතීතයේදී ඇතැමෙකුට රැකියා ලැබුණ ද දිලිදු ජනතාවට අවස්ථාව නොලැබුනු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළකළා.

මහියංගනය මහවැලි ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවට ජනාධිපතිතුමා පළමුව සහභාගි වුණා. අපේක්ෂක තේනුක විදානගම මහතායි ජනහමුව සංවිධාන කළේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු ඒ අයුරින්ම ඉටුකරන බව ජනාධිපතිතුමා කියාසිටියා. මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිධාරීන් සදහා සැළසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහස ලබාදෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කළේ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන්ට පුහුණුවක් සමග රැකියා දීමට වැඩපිළිවෙළක් සකස් කෙරෙනවා.

රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකදීම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම,  කුමන්ත්‍රණකාරී හා අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වූ බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. කිසිදු පදනමක් නැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ කළද තමා බියට පත්කළ නොහැකි බවයි ජනාධිපතිතුමා කියාසිටියේ. මොරන් ඇළ වාරි ව්‍යාපෘතිය කඩිනම්කර මහියංගනය පානීය ජල ගැටලුව විසදන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

ශශිකලා සෙව්වන්දි දියණිය කොවිඩ් අරමුදල සදහා තම මුදල් කැටය ජනාධිපතිතුමා වෙත පිරිනැමුවා.

මහියංගනය මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා.

වියළුව කන්දකැටිය සතිපොල භූමියේ පැවති ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගි වුණා. එය සංවිධාන කළේ අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම මහත්මියයි.

වගා ජල හිගයට සහ වන අලි තර්ජනයට ස්ථිර විසදුම් සෙවීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපතිතුමා කියාසිටියා. පාරම්පරික වගා බිම් යළි අස්වැද්දීමට පියවර ගැණෙනවා.

වියළුව මීගහකිවුල පොළ භූමිය අසල පැවති ජන හමුවට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාව සමග කතාබහ කරමින් ප්‍රදේශයේ ගැටලු විමසුවා. ඇල්ලන්ද මාර්ගයේ බස් රථයක් යොදවන ලෙස මීගහකිවුල ජාතික පාසලේ දියණියක කළ ඉල්ලීම ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවුණා. පුරන් කුඹුරු අස්වැද්දීම සදහා ලොග්ගල ඔය හරවාදෙන ලෙසයි ජනතාව ඉල්ලා සිටියේ. මීගහකිවුල ජාතික පාසලේ උසස් පෙළ ගුරු හිගය පිළිබදව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරුණා.

ඌවපරණගම ලුනුවත්ත ජාතික පාසල වෙත පැමිණි ජනාධිපතිතුමා සිසුන් සමග අදහස් හුවමාරුකර ගත්තා. පාසලේ ක්‍රීඩාංගනය සහ ගුරු නිවාසය ඉදිකර දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ.

අල ගොවීන් වගාව සදහා දිරිමත් කිරීමට පියවර ගත් ජනාධිපතිතුමා බදුල්ල බීජ පර්යේෂණ ආයතනය ගුණාත්මක බීජ පිළිබද පරීක්ෂණ සිදුකරන බව සදහන් කළා.

අනතුරුව ජනාධිපතිතුමා සහභාගි වූයේ අපේක්ෂක බුද්ධදාස මහතා සංවිධාන කළ ජන හමුවටයි. ඌව පරණගම,  අඹගස්දෝව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී එම ජන හමුව පැවැත්වුණා.

වැලිමඩ ප්‍රාදේශීය සභා සතිපොල භූමියේ පැවති ජන හමුවට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රැස්ව සිටි පිරිස සමග සුහද කතාබහක නිරත වුණා. අපේක්ෂක සම්පත් ජයසුන්දර මහතායි එම ජන හමුව සංවිධාන කළේ. උඩපේරුව පදිංචි ගාමිණී කුමාරසිංහ මහතා නිපදවූ සැහැල්ලු කොළ මඩින යන්ත්‍රය පිළිබදව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරුණා. වැලිමඩ විජය විද්‍යාලයේ මිහෙළි නිල්මිණී රත්නායක දියණිය කොවිඩ් අරමුදල සදහා තම මුදල් කැටය ජනාධිපතිතුමා වෙත පරිත්‍යාග කළා.

අපේක්ෂක සුදර්ශන දෙණිපිටිය මහතා බණ්ඩාරවෙල නගර සභා පරිශ්‍රයේ සංවිධානකර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා එක්වුණා.

දියතලාව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවට සහභාගි වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පිරිනැමුවා. අපේක්ෂක ජානක තිස්සකුටිට්ආරච්චි මහතායි එම ජන හමුව සංවිධාන කළේ. වගා වන්දි පිරිනැමීම සහ අස්වැන්න සුරක්ෂිතව ප්‍රවාහනයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබදව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්