තමන්ගේ ගම් ප්‍රදේශවලට පැමිණ ජන හඩට සවන්දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ප්‍රසාදය පළකරනවා. ජන රැළි වෙනුවට ජනාධිපතිතුමා ගෙන ආ නව සංකල්පය අගය කරන බවයි එම ජනතාව ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා දෙවන වරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමා චාරිකාවක නිරතවූ අවස්ථාවේදී ජනතාව මේ බව කියා සිටියේ.
අපේක්ෂක ආනන්ද හරිස්චන්ද්‍ර මහතා කටාන වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය අසළ සංවිධාන කළ ජනහමුවට ද ජනාධිපතිතුමා සහභාගී වුණා. එම ජනතාව සමග සුහද කතාබහක ද නිරතවුණා. පාස්කු ප්‍රහාරය සහ නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන්තොටුපොල වැසීයාමෙන් කුලීරථ රියදුරන් පත්ව ඇති දුෂ්කරතා පිළිබද සොයා බලන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට නියම කළා.
කසල බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කර මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂාකර දෙන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා.
අපේක්ෂක ලක්ෂ්මන් ගුණවර්ධන මහතා සංවිධාන කළ ජන හමුව පැවැත්වුණේ ගම්පහ නගර සභා රථගාලේදීයි. ජනාධිපතිතුමා ඊට ද එක්වුණා. වික්‍රමාරච්චි විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කිරීමට ගත් පියවර අගය කරමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලි සේවක සංගමය ජනාධිපතිතුමා වෙත මෙහිදී ප්‍රණාමය පුදකලා.
සමූපකාර පනත සංශෝධනය කිරීම සහ සමූපකාර කොමිෂන් සභාවට දක්ෂ නිලධාරීන් පිරිසක් පත්කිරීමේ අවශ්‍යතාව ගැන අත්තනගල්ල සමූපකාර සමිතියේ සභාපතිවරයා ජනාධිපතිතුමා සමග අදහස් හුවමාරු කර ගත්තා.
අපේක්ෂක උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සංවිධාන කළ ජන හමුව පැවැත්වුණේ අත්තනගල්ල වාරණ රජමහා විහාරස්ථානය අසලදීයි. එහිදී ද ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා. ඉන්දීය ශ්‍රමිකයන් ගෙන්වීම සීමාකර පාරම්පරික රන්, රිදී කර්මාන්ත කරුවන්ට ස්වර්ණාභරණ නිශ්පාදනය සදහා අවස්ථාව සලසන ලෙස ජනතාව මෙහිදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා.
අපේක්ෂක මිලාන් ජයතිලක මහතා කිරිදිවැල මහජන රථගාල භූමියේ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී වුණා. සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව කිරිදිවැල සිට ආරක්ෂක සේවා විද්‍යාලයට ගමන් කිරීම සදහා පාසල් බස් රථයක් ලබා දෙන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසුවා. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වසර 25 ක් සේවය කළ අයගේ සේවය ස්ථිර කර දෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහිද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා.
අපේක්ෂක බර්නන් ගුණරත්න මහතා දෙකටන ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. රැස්ව සිටි ජනතාව සමග ජනාධිපතිතුමා සුහද පිළිසදරක ද නිරත වුණා. දොම්පේ අභිමානය ග්‍රන්ථය ද ඒ මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා.