2017 වසරේ ජනවාරි මස අවස්ථා 2 කදී ඇමෙරිකාව හා ඉන්දියාව ඉලක්ක කර ගනිමින් අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා. ඒ හේතුවෙන් මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයේ හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි වාර්තාවක් මගින් තමන් ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන් බවයි ඒ මහතා කියාසිටියේ.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ 4 වන දිනටත් අද සාක්ෂි ලබා දෙමින් නිලන්ත ජයවර්ධන මහතා මේ බව කියාසිටියා. ඇමෙරිකාව හා ඉන්දියාව ඉලක්ක කරගත් ප්‍රහාර එල්ල විය හැකි බවට විදෙස් බුද්ධි අංශ එවක දැනුම් දුන් බවයි ඒ මහතා පැවසුවේ. ජනාධිපති කොමිසම මෙහිදී විමසා සිටියේ ඔබ විදේශයන්ගෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ඇමෙරිකා හා ඉන්දීය තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කරන්න නිර්දේශ ඉදිරිපත් කළ ද කාත්තන්කුඩි සිදුවීම, සහරාන්ලාගේ ක්‍රියාකාරකම්, රිල්වාන්ගේ කටයුතු, මාවනැල්ල සිදුවීම් ආදිය ගැන නිර්දේශ ඉදිරිපත් නොකළේ ඇයි ද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ සහරාන් අත්අඩංගුවට ගැනීමට නිර්දෙශ ලිඛිතව ඉදිරිපත් කළ බවයි. පාස්කු ප්‍රහාරයට වසරකට පෙර සිට සැකකරුවන් සිටින ස්ථාන පෙන්වා දී විශේෂ කණ්ඩායමක් යොදවා අත්අඩංගුවට ගන්නා ලෙස ලිඛිතව දැනුවත් කළ බව ඒ මහතා පැවසුවා. 2017 වසරේදී මෙම සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් 94 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් හා 2018 වසරේදී 130 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් වගකිව යුත්තන්ට ඉදිරිපත් කළ බව ද සාක්ෂිකරු පැවසුවා.
සබරගමුව, වයඹ හා මධ්‍යම පළාත්වල පිළිම කඩා දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් ද 2018 වසරේ දෙසැම්බර් මස 30 වනදා එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලබා දුන් බවයි නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ. ශ්‍රී ලංකාව ඉස්ලාම් දේශයක් කළ යුතු බවට සහරාන් හෂීම් කාත්තන්කුඩියේදී දේශනා පවත්වා ඇති බවට සවිස්තර වාර්තාවක් ද පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට ලබා දුන් බව සාක්ෂිකරු කියාසිටියා.