වරෙන්තු නිකුත් කර ඇති මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුධ සම්පායෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. සැකකරු සොයා මේ වන විට විමර්ශන ක්රියාත්මක බවයි පොලීසිය සදහන් කරන්නේ.
හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තුව වහාම ක්රියාත්මක කරන ලෙස මීගමුව මහේස්ත්රාත් අධිකරණය ඊයේ (29) පොලීසියට නියෝග කළා. කෙසේ වුවද එම බන්ධනාගාරයේ හිටපු ප්රධාන ජේලර්වරුන් දෙදෙනා අධිකරණයට ඊයේ (29) භාරවුණා. ඔවුන් දෙදෙනා ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසටයි මීගමුව අධිකරණය මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණේ.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර හා නිශාන්ත සේනාරත්න යන දෙදෙනා මීගමුව මහේස්ත්රාත් අධිකරණයට මෙසේ ඊයේ භාරවුණා. ඔවුන් ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. රැදවියන්ට විශේෂ පහසුකම් සැළසූ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කළේ පසුගිය 22 වනදායි. එසේ වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු ජේලර්වරයෙකු වන කාලිංග කලුඅග්ගල පසුගිය 24 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවුණා. ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මීගමු බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම පිළිබද වැඩිදුර සළකා බැලීම ලබන පස්වනදා සිදුකිරීමට අභියාචනාධිකරණය තීරණය කළා.