එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 115 දෙනෙකු පක්ෂයෙන් ඉවත් කර තිබෙනවා. ඉදිරියේදී ද තවත් පිරිසක් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරමින් පවතින බවයි සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය දරමින් සිටියදී සමගි ජනබලවේගයට එක් වූ පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ පරිදි එකසිය පහළොස් දෙනෙකු පක්ෂයෙන් ඉවත් කිරීමටයි එම පක්ෂය කටයුතු කර ඇත්තේ. එම පිරිස අතර මෙවර මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වදින පනස් හතර දෙනෙකු හා එම පක්ෂයට සහාය පළ කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් හැටඑක් දෙනෙකු අයත්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා, සිඩ්නි ජයරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රංජන් රාමනායක, සුජීව සේනසිංහ, ඉදුනිල් තුෂාර, නලින් බණ්ඩාර, අශෝක් අබේසිංහ හා වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් ඇතුළත්. එමෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජෝර්ජ් පෙරේරා, නිරෝෂන් පාදුක්ක, ලෙනාඩ් කරුණාරත්න සහ රෝස් ප්‍රනාන්දු යන පිරිස ද මෙසේ සාමාජිකත්වය අහිමි වූවන් වනවා.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ පිරිස අතර නගරාධිපතිවරුන් තුන්දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ. ඉදිරියේදී තවත් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
කමිටු 6 ක් මගින් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ක්‍රියාවට නැංවූ බවයි කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ නායකයා ලෙස කටයුතු කළද ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය මෙතෙක් පියවර ගෙන නැහැ. කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය ගත් ක්‍රියාමාර්ගය පිළිබද විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8VsGIS_mJug”]