fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යහපාලන සමයේ රනිල් ගෙනා දූෂණ විරෝධී කමිටුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා – විජේදාස හෙළිකරයි

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2020 19:25

යහපාලන රජය සමයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිහිටවූ දූෂණ විරෝධි කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකරන ලද්දක් බව අද හෙළිවුණා.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

විජයදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවට අද කැදවා තිබුණේ ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අනුවයි. දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් විජයදාස රාජපක්ෂ මහතා කියාසිටියේ දූෂණ විරෝධී කමිටුව ජාතික විධායක සභාව නමින් හදුන්වන නෛතික නොවන ආයතනයකට අනුගතව දේශපාලන වශයෙන් රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට ඇරඹූවක් බවයි.

ජාතික විධායක සභාව පිහිටුවීම නීතිවිරෝධී බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට අවස්ථා කිහිපයකදී තමා පෙන්වා දුන් බවයි. ඒ හේතුවෙන් එවකට හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික, අර්ජුණ රණතුංග, මංගල සමරවීර, රවී කරුණානායක යන මහත්වරුන්ගේ දෝෂදර්ශනයට තමා ලක්වූ බවයි. එහිදී කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ ස්වාධීන පරීක්ෂණවලට ජාතික විධායක සභාව බාධාවක්ද යන්නයි. මේක දේශපාලනීකරනය වීමක්. මේ කාරණා නිසා තමයි ඒ ආණ්ඩුව එක්ක ගැටුම් ඇතිවුණේ. මේක කැලෑ නීතියක් යනුවෙන් ඊට පිළිතුරු දෙමින් විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජාතික විධායක සභාවේ ක්ෂණික ප්‍රතිචාර කමිටුවෙහි අනුර කුමාර දිසානායක, ජනාධිපති නීතීඥ ජේ සී වැලිඅමුණ, මංගල සමරවීර යන මහත්වරුන් මූලිකත්වය ගෙන කටයුතු කළ බවද ඔහු කොමිසම හමුවේ කියාසිටියා.

එම කමිටුව මූලිකවම රාජපක්ෂ රෙජිමයට එරෙහිව නඩු පැවරීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව රාජපක්ෂ මහතා අනාවරණය කළා. එම කමිටුවේ මූලික පරමාර්ථය වූයේ පුද්ගලයින් පහළොස් දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් බවයි සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළේ. රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඇවන්ට්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටි බවත් එහිදී මේක ස්වර්ණමය අවස්ථාවක් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න මේ වගේ අවස්ථාවක් එන්නේ නෑ යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බවද විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළා.

2016 වසරේ ජනවාරි 29 වනදා රාජිත සේනාරත්න, පාඨලී චම්පික, සමන් රත්නප්‍රිය, ජේ සී වැලිඅමුණ හා සරත් විජේසූරිය යන පිරිස් සමග පැවැති සාකච්ඡාවකදී නිදහස් දිනයට පෙර යෝෂිත අත්අඩංගුවට ගතයුතුයි යනුවෙන් රාජිත හා පාඨලී ප්‍රකාශ කළ බවත් ඉන් දින දෙකකට පසු එම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවත් විජයදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ කියාසිටියා. ඔහු තවදුරටත් කියාසිටියේ යහපාලන රජයේ බහුතරයකගේ මතය වී තිබුනේ අධිකරණ අමාත්‍යවරයාගේ නියෝගයෙන් දේශපාලන අවශ්‍යතා මත නඩු පැවරීම හෝ ඉවත්කර ගැනීමේ ක්‍රියාවලිය සිදුකළ හැකි බවයි.

මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම නීතිවිරෝධී බව එවකට සිටි ජනාධිපතිවරයාට සහ අග්‍රාමත්‍යවරයාට තමා පෙන්වා දුන්නද රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිමතය පිරිදි අර්ජුන් මහේන්ද්‍රන් එම තනතුරට පත්කළ බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. යහපාලන ආණ්ඩුවේ සිදුවූ සියලු දූෂණ ක්‍රියාවලින්ට එරෙහිව තමා පෙනී සිටි බැවින් හොරු ආරක්ෂාකරන අමාත්‍යවරයා ලෙස තමා හංවඩු ගැසූ බවයි ඔහු කොමිසමේ නිලදාරීන් හමුවේ ප්‍රකාශ කළේ. අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ලවූවත් තමා වරදක් නොකළ බැවින් ඉන් ඉවත් කරන තුරුම ඉල්ලා අස්නොවූ බවයි විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කියාසිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2020 19:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්