2016/ 2019 කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11 ක බරපතළ මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව තහවුරු වී තිබෙනවා. යහපාලන රජය කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතයන් සොයා බැලීමට පත් කළ කමිටුවයි මේ බව තහවුරු කර තිබෙන්නේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කමිටුවක් පත් කළා.විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ, විශ්‍රාමික කැබිනට් අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරුන් මෙම කමිටුවේ සාමාජිකයන්. පිටු 142 කින් යුත් එම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත අද භාර දුන්නා.
යහපාලන රජය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා රැසක් එම වාර්තාව හෙළි කරනවා. එම වාර්තාවට අනුව නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනීමේ හා තැන්පත් පොළී ආදායම අහිමි වීමෙන් රුපියල් මිලියන 2608ක්, නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක්, සංචාරක ප්‍රවේශ පත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදු වූ අලාභය ලෙස රුපියල් මිලියන 48ක්, පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීතිවිරෝධීව වෙනත් කටයුතු සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 2266ක්, අපේ ගම ව්‍යාපෘතියේ දේපළ පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8 ක්, විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබා දුන් රුපියල් මිලියන 2316ක්, බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බදවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3060ක් වශයෙන් රුපියල් මිලියන 11059ක මුදලක් අවභාවිත කර ඇති බව කමිටුව හෙළි කරගෙන තිබෙනවා. සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශ්ව සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කමිටුව නිර්දේශ කරනවා.
එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන්ද නීතිවිරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400 ක් කිසිඳු අනුමැතියකින් තොරව නිදහස් කරගෙන තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25 ක් ආරම්භ කර ඇති අතර මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවීම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බව කමිටුව හෙළිකරගෙන තිබෙනවා. 2019 වර්ෂය පුරා කළ අවධිමත් වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට එම වසරේ නොවැම්බර් 15 වනදා අධ්යක්ෂ මණ්ඩලයද කැඳවා තිබෙනවා. ඒ සඳහා සාමාජිකයින් පස්දෙනෙකු සහභාගී වී ඇති අතර සහභාගී නොවූ සාමාජිකයන්ගෙන්ද අත්සන් ලබාගෙන ඇති බවයි තහවුරු වී තිබෙන්නේ. මෙම අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු ඇති බව පෙන්වා දෙන කමිටුව මෙම සාමාජික අත්සන් තහවුරු කර ගැනීම සුදුසු බවද අවධාරණය කරනවා.