fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වරෙන්තුවක් නිකුත්කර, සිටින ස්ථානය අනාවරණය වුවත් ‘ආමි මොහිදීන්’ අත්අඩංගුවට ගෙන නැහැ

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 18:56

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ආමි මොහිදීන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත්කර සැකකරු සිටින ස්ථානය අනාවරණය වූ පසුවත් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කරනවා.

ප්‍රහාරයට පෙර සිට සහරාන් හෂීම් ඇතුළු පිරිස ගෙන විමර්ශන කරමින් සිටි නිලධාරියෙකු පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ මේ බව කියාසිටියා.

ආමි මොහිදින් අත්අඩංගුවට නොගත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සැකකරු සමඟ සබඳතා පැවැත්වූ නිසාදැයි සැක මතුවන බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු පසුගියදා කළ අනාවරණය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ අවධානය ඒ කෙරෙහි යළි යොමුවුණා. ආමි මොහිදින් සම්බන්ධයෙන් විමර්ශන කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්‍ෂක ඩයස් නන්දලාල් සාක්‍ෂි ලබාගැනීම සඳහා කොමිසම හමුවට අද කැඳවා තිබුණා.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරයා සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ ආමි මොහිදින් නමැත්තෙකු අත්අඩංගුවට ගැනීමට පාසිකුඩා ප්‍රදේශයට ගියේද යන්නයි. පසුගිය වසරේ මාර්තු 7 වනදා තම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් ලද උපදෙස් අනුව තමන් ඇතුළු කණ්ඩායමක් පාසිකුඩා වෙත ගොස් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු හමුවූ බවයි. ආමි මොහිදින් පාසිකුඩාවල මුහුද ආසන්නයේ පොල්වත්තක කණ්ඩායමකට අවි පුහුණුව ලබාදෙනවා.

ඔහු අත්අඩංගුවට ගන්න වරෙන්තුවකුත් තියෙනවා යැයි රාජ්‍ය බුද්ධි නිලධාරියා පවසා තවත් තොරතුරු තමන්ගේ ජංගම දුරකතනයට ලබාදී ආමි මොහිදින් සිටි පොල්වත්ත ද පෙන්වූ බවයි සාක්‍ෂිකරු මෙහිදී කියාසිටියේ. ඒ අනුව එදිනම දහවල් තමන් අදාළ ඉඩම වෙත ගියද ආමි මොහිදින් එහි සිටියේ නැහැ. මුස්ලිම් ජාතික වැඩිමහල් යුවලක් එහි තිබූ නිවසක සිටි බවත් ඔහු කියාසිටියා. එම වැඩිහිටියන්ගෙන් කළ විමසීමේදී ආමි මොහිදින් මෙම නිවසේ රැඳී සිටින බව දැනගත් පසු ඔවුන්ලවා ආමි මොහිදින්ට දුරකතන ඇමතුමක් ගෙන නිවසට පැමිණෙන්නැයි දැන්වූ බවයි සාක්‍ෂිකරු ප්‍රකාශ කළේ.

අනතුරුව පැය එකහමාරකට පසු ආමි මොහිදින් මෙම නිවසට පැමිණි බවත් තමන් ඇතුළු කණ්ඩායම අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් ලෙසම හඳුන්වා දෙමින් සහරාන් සමඟ ආමි මොහිදින්ගේ ඇති සබඳතා පිළිබඳ ප්‍රශ්න කළ බවයි සාක්‍ෂිකරු කියාසිටියේ. කොමිසම මෙහිදී විමසා සිටියේ ආමි මොහිදින් එම අවස්ථාවේ දී අත්අඩංගුවට ගත්තේ ද යන්නයි. සිදුකළ ප්‍රශ්නකිරීම්වලින් හා නිවාස අවට කළ සෝදිසි කිරීම් වලදී සැකකටයුතු දෙයක් හමුවූයේ නැති බැවින් ආමි මොහිදින් අත්අඩංගුවට නොගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ප්‍රකාශ කළා.

කොමිසම යළි ප්‍රශ්න කළේ සාමාන්‍යයෙන් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන පුරුද්ද එම අවස්ථාවේ දී අනුගමනය නොකළේ මන්ද යන්නයි. සාක්‍ෂි නොමැති නිසා එවැන්නක් සිදු නොකළ බව සාක්‍ෂිකරු යළි සඳහන් කළා. ඒ වනවිටත් ආලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමට අදාළව ආමි මොහිදින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් වූ බව දැනසිටියේ දැයි කොමිසම සාක්‍ෂිකරුගෙන් විමසුවා. “වරෙන්තුවක් තියෙනවා කියලා දන්නවා. අත්අඩංගුවට ගත්තේ නැහැ.” විමර්ශනයට අදාළව තමන්ට සැකයක් ඇතිවූයේ නැති බවයි සාක්‍ෂිකරු ප්‍රකාශ කළේ. සාක්‍ෂිකරු ආමි මොහිදින්ව සොයාගත් බව අවම වශයෙන් කාත්තන්කුඩි පොලිස් ස්ථානය හෝ දැනුවත් නොකළේදැයි කොමිසම පෙරළා ප්‍රශ්න කළා.

තමන් ඒ කෙරෙහිද අවධානයක් යොමු නොකළ බව සාක්‍ෂිකරු පැවසුවා. අධිකරණය ලබාදී ඇති වරෙන්තුවක් ක්‍රියාත්මක නොකිරීම නීතියට පටහැනි ක්‍රියාවක් නොවේදැයි කොමිසම මෙහිදී විමසුවේ දැඩි ස්වරූපයකින්. “මට ඒ වෙනකොටත් වැඩ වැඩිවෙලා තිබුණේ. ඒ නිසා වරෙන්තුව එතනට ගෙන්න ගන්නත් බැරිවුණා. මගේ විමර්ශනයට අදාළව මට සැක කරන්න පුළුවන් සාක්‍ෂි ලැබුණේ නැති නිසයි මම ඔහු අත්අඩංගුවට නොගත්තේ” යනුවෙන් සාක්‍ෂිකරු එහිදී ප්‍රකාශ කළා.

ආමි මොහිදින් එහිදී අත්අඩංගුවට ගෙන සහරාන් හෂීම් පිළිබඳ අනාවරණය කර ගත්තේ නම් මෙවැනි ප්‍රහාරයක් සිදුවේදැයි කොමිසම මෙහිදී විමසීමක් කළා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්‍ෂක ඩයස් පද්මසිරි නිලධාරියා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ “එහෙම දෙයක් මට හිතෙන්නෙ නෑ. මම ඒ ගැන කියන්න දන්නෙ නෑ” යනුවෙනුයි. “ඔබට සේවයෙන් විශ්‍රාම යාමට තවත් කාලය තිබියදී හදිස්සියේ විශ්‍රාම යාමට කුමක් හෝ විශේෂ හේතුවක් තිබේද?” යනුවෙන් කොමිසම විමසා සිටියා. ඊට පිළිතුරු දුන් සාක්‍ෂිකරු කියාසිටියේ “මීටත් කළින් යන්න හිටියේ. මේ ගියෙත් ප්‍රමාදවෙලා.” යනුවෙනුයි.

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්