පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ සහරාන් ප්රමුඛ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු පිළිබද නිශ්චිත තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ බව එම ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙළි කෙරුණා.
ප්‍රහාරයට පෙර එම නම් ලබා දී තිබුණ ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය ක්‍රියාත්මක නොවූ බවයි රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු කොමිසම හමුවේ අනාවරණය කළේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සහ අද සාක්ෂි දෙනු ලැබුවේ රාජ්‍ය බුද්ධි සේවයට අයත් නැගෙනහිර පළාතේ සේවයේ නියුතු බුද්ධි නිලධාරියෙක්. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියාසිටියේ ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් 94 දෙනෙකුගේ නම් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ද පුද්ගලයන් 129 දෙනෙකුගේ නම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද ප්‍රහාරයට පෙර ලබා දී තිබූ බවයි.
2017 වසරේ මාර්තු 10 වනදා කාත්තන්කුඩි ආලියාර් මංසන්ධියේ ඇති වූ ගැටුමෙන් පසු තවුහිද් ජමාද් සංවිධානයේ මොහොමඞ් සහරාන්, මොහොමඞ් රිල්වාන්, ආමි මොහිදීන් සහ යූසුෆ් අන්වර් යන අයට මඩකලපුව අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ බවයි. ඔවුන් පිළිබඳ දිගින් දිගටම රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත් ඒකකය සෝදිසියෙන් සිටි බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. සහරාන් පිළිබඳ තොරතුරු අනාවරණය නොවුණ ද වරෙන්තු ලබා සිටි අනෙකුත් ජාතික තවුහිද් ජමාද් සාමාජිකයන් පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීමට හැකි වූ බව ද ඔහු සඳහන් කළා. යූසුෆ් අන්වර් කාත්තන්කුඩි නගරයේ ඇඳුම් මැසීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය ද ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකළ බවයි බුද්ධි නිලධාරියා තවදුරටත් කියාසිටියේ.
සියලු තොරතුරු 2019 වසරේ මාර්තු මුල් සතිය වන විට රාජ්‍ය බුද්ධි සේවය රහස් පොලීසියට ලබා දී තිබුණා. එහි කණ්ඩායමක් මාර්තු මස 7 වනදා පාසිකුඩා වෙත පැමිණි බව ද සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. එහිදී සහරාන්ගේ සොහොයුරන් වන රිල්වාන් හෂීම් හා මොහොමඞ් ශෛයිනි සැඟව සිටි ස්ථාන පිළිබඳ පැහැදිලි තොරතුරු ලබාගත් බව ඔහු තවදුරටත් කියාසිටියා.
කෙසේ වුව ද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 24 වනදා තමන් ඇතුලු කණ්ඩායමක් ආමි මොහිදීන් අත්අඩංගුවට ගන්නා තෙක් වෙනත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකළ බව ද මෙම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියාසිටියා.
මෙම ප්‍රහාරය පිළිබඳ රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයාට විදෙස් අංශයකින් ලබා දී තිබූ පෙර දැනුම් දීමේ බුද්ධි තොරතුර පිළිබඳ තමන් දැනුවත් කර තිබුණ ද එම තොරතුර පිළිබඳ දිවයිනේ සියලු පොලිස්ථාන සැලකිය යුතු දැනුවත් කිරීමකට ලක්කර නොතිබූ බව ද ඔහු අවධාරණය කළා.