වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න මෙන්ම ජේලර් කාලිංග කලුඅග්ගල යන අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. ඒ පසුගිය දිනක මීගමුව බන්ධනාගාරය තුළ පොලීසිය කළ වැටලීමක දී බන්ධනාගාර රැදවියෙකුට විශේෂ පහසුකම් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් ප්‍රසන්න පින්තෝ නමැති සිරකරුවාගේ කුටියේ තිබී ශීතකරනයක්, ආහාරපාන තොගයක්, සැප පහසු ඇදක්, නවීන පන්නයේ විදුලි පංකා ඇතුලු භාණ්ඩ රැසක් පසුගියදා බන්ධනාගාර පොලීසිය සිදුකළ මෙහෙයුමකදී මීගමුව බන්ධනාගාරයෙන් සොයා ගත්තා. ඒ, එහි සිදුකළ හදිසි වැටලීමක් මගින්. අනතුරුවයි මේ පිළිබද පුළුල් පරීක්ෂණ ආරම්භ කෙරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වැඩ තහනමකට ලක්කර පරීක්ෂණ පැවැත්වීමට පියවර ගැණුනා. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වැඩ තහනමට ලක්ව සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. එම රීට් පෙත්සම මගින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයා, නීතිපතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/EevA9hcUIjY”]