එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයෙකුව සිටි රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළා.
තමා ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලමින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා. ඊට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් විසිපන්දහසක මුදලක් ගෙවන ලෙස ද අධිකරණය පෙත්සම්කරුට නියම කළා. සමගි ජන බලවේගය පක්ෂය පිහිටුවීම සිදුකළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය ජනවාරි මාසයේ ගත් තීන්දුවකට අනුව බවයි පෙත්සම්කරු කියාසිටියේ.
ඒ අනුව තමන් ඇතුළු පිරිස කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැති බව ඔහු ප්‍රකාශ කළා. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පසුගියදා කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතීඥවරුන් ප්‍රකාශ කළේ මෙවැනි පක්ෂයක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලබාදී නැති බවයි.
මේ අතර කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිකාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගත් බවට පසුගියදා ඇතිවූ සිද්ධියට අදාළ පරීක්ෂණ වලට දැනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් බාධා කිරීමක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. දරීෂාගේ ලැප්ටොප් පරිගණකය අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පසුගිය 10 වනදා තම භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. දරීෂා බැස්ටියන් ආරම්භයේ පටන්ම මෙම විමර්ශනවලට බාධාකාරී ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.