අගුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා ඇප මත මුදා හැරුණා.
පොලිස් වෙඩි පහරින් ධීවරයෙකු මියයාමේ සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණයට යාමට පෙර පොලීසිය ඔවුන් රැගෙන ගියේ යැයි පවසමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු පිරිසක් අගුලාන පොලීසිය ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.
එහිදී පොලිස් ස්ථානයට ගල්වලින් පහර දී හානි සිදුකළ බවටයි චෝදනා එල්ල වී තිබුණේ. අයුතු ජනරාශිය, රජයේ නිලධාරීන්ට තුවාල සිදු කිරීම හා අනර්ථය යන චෝදනා යටතේ සැකකාරියන් නව දෙනෙකු හා සැකකරුවන් පස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කෙරුණා.
ඔක්තෝබර් මස 23 වනදා මෙම නඩුව යළි කැදවීමටයි අධිකරණය නියෝග කළේ.