fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජාංගනයේ 3 දෙනෙකුට කොරෝනා – 300 ක් නිරෝධායනයට

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 19:16

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශනයකට සහභාගි වූ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී තිබෙනවා. එක් දරුවෙකුගේ වයස අවුරුදු 11 ක් වන අතර අනෙක් දරුවාගේ වයස අවුරුද්දයි මාස 6 ක් වනවා. ඒත් සමගම මෙම පිරිස ඇසුරු කළ සියලු දෙනා නිරෝධායනයට ලක් කෙරුණා.

මේ අතර මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා හමුවී මාස 4 ක් ගතවෙද්දී දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඊයේ හමුවූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 300 ක්. කොරෝනා ආසාදිතයන් පිළිබද අසත්‍ය තොරතුරු පතුරුවන අය සම්බන්ධයෙන් පොලීසිය අවධානයෙන් පසුවනවා.

මෙරටින් හමු වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2459 ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වුව ද කන්දකාඩුවලින් වැඩි පිරිසක් එකවර හමුවීමත් සමග දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 468 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්‍ෂණය යටතේ 37 දෙනෙකු පසුවනවා. නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1980 දෙනෙකු සුවය ලැබුවා. මෙරටින් කොරෝනා මරණ 11 ක් වාර්තා වනවා.

ඊයේ දිනයේ හමු වූ කොරෝනා රෝගීන් අතුරින් 283 දෙනෙකුම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් 9 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 3 දෙනෙකු හා පාකිස්තානයේ සිට පැමිණි එක් අයෙකුට කොරෝනා ආසාදනය වී සිටියදී සොයා ගැනුණා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හදුනාගත් කොරෝනා රෝගියෙකු ඇසුරු කළ පුද්ගලයන් 3 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගත්තා.

කෙසේ වුව ද මේ වන විට හමුවන කොරෝනා රෝගීන් කිසිවෙකුත් බාහිර සමාජයෙන් නොවන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ද වත්මන් තත්ත්වය පිළිබද අදහස් ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවට ඇතැමුන් කටකතා පැතිරවීමට මෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට පෙළඹී සිටිනවා. ඔවුන්ගේ කටකතාවලට හසුවීමෙන් වළකින්නැයි පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා. මේ සම්බන්ධයෙන් නිල නිවේදන නිකුත් කරන රජයේ ආයතනවලින් සිදු කරන ප්‍රකාශ පිළිබද පමණක් විශ්වාස කරන ලෙසයි පොලීසියට සදහන් කරන්නේ.

ලන්ඩන් හි සිටි ශ්‍රී ලාංකිකයන් 236 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී පී සී ආර් පරික්‍ෂණයට යොමු කෙරුණා. ඉන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාම සිදු වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

ගුවන් හමුදාවේ පලාලි කදවුරේ පිහිටි මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ සිය දෙනෙකු එම කටයුතු අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගියා. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවා.

ස්වසන ආබාධයක් හේතුවෙන් මුන්දලම රෝහලට ඇතුළත් කළ 20 හැවිරිදි අයෙකු හලාවත රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා. ඔහුට කොරෝනා වැළදී ඇති බවටයි සැක කෙරුණේ. එහෙත් සිදු කළ පරික්‍ෂණවල වාර්තා මේ වන විට ලැබී ඇති අතර මෙම තරුණයාට කොරෝනා ආසාදනය වී නැති බව එහිදී තහවුරු වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo