fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ කල් දමන්නැයි සිසුන් ජනපතිට කළ ඉල්ලීම අධ්‍යාපන ඇමතිගේ අවධානයට

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 18:03

අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේදී පවත්වන ලෙසට සිසු දරු දැරියන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් කළ ඉල්ලීම වහාම අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත යොමු කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තා.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමු කිහිපයකට සහභාගි වීම සදහා ජනාධිපතිතුමා එහි ගිය අවස්ථාවේදීයි සිසු දරු දැරියන්ගෙන් මෙම ඉල්ලීම ලැබී තිබෙන්නේ. නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාදය පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පසුගියදා අත්වැල් බැදගත් නාවලපිටිය ගගඉහළ කෝළරේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් අට දෙනා හා පස්භාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා මෙහිදී ජනාධිපතිතුමා හමුවුණා. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දෙන බවයි ඔවුන් මෙහිදී කියාසිටියා.

නාවලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ ජනහමුවට ද ජනාධිපතිතුමා එක්වුණා. එහිදී තේ දළු සදහා සාධාරණ මිලක් ලබා ගැනීමට සහාය වන්නැයි එම කර්මාන්තයේ නිරත වූ පිරිස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. දේශීය ගොවියා මෙන්ම තේ කර්මාන්තය ආරක්‍ෂා කර ගැනීම තම ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. නාවලපිටිය ප්‍රදේශවාසීන් මුහුණ දී සිටින ඉඩම් ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ඊට විසදුම් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා මහ මැතිවරණ අපේක්‍ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට උපදෙස් ලබා දුන්නා. වතු ආශ්‍රිත දරුවන් සදහා නාවලපිටියට උසස් අධ්‍යාපන ආයතනයක් හා කාර්මික විද්‍යාලයක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා.

මහනුවර දිස්ත්‍රික් අපේක්‍ෂක අනුරාධ ජයරත්න මහතා සංවිධාන කළ ජන හමුවකට ද ජනාධිපතිතුමා සහභාගි වුණා. ගම්පොළ දුම්රිය ස්ථානය අසලදීයි එය පැවැත්වුණේ. මහා සංඝරත්නය මෙන්ම සර්ව ආගමික පූජකවරුන් එහිදී ජනාධිපතිතුමාට ආශිර්වාද කළා. රැස්ව සිටි ජනතාවගෙන් ජනාධිපතිතුමාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. මෙවර අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ පවත්වන ලෙසට එහිදී දරුවන් කළ ඉල්ලීම ජනාධිපතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කළා.

උඩුනුවර දවුලගල අලපලාවිල ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එක්වුණා. ආදම් පාරිස් මහතායි ජන හමුව සංවිධාන කළේ. සැලකිය යුතු පිරිසක් එම අවස්ථාවට ද සහභාගි වුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo