කොවිඩ් නිසා ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමෙන් ඇති වූ කම්පනයෙන් අපගේ ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. විදෙස් රැකියා අහිමිවීමෙන් වන හානිය නොතකා ජීවිත ආරක්ෂාවට මුල්තැන දුන් බවද ජනාධිපතිතුමා සදහන් කරනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගෝලීය සමුළුව අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ.
වත්මන් ලෝකය මුහුණ දෙන ප්රබලතම මානව අර්බුදය කෝවිඩ් 19 මගින් නිර්මාණය කර ඇති බව ද ජනාධිපතිතුමා සදහන් කළා. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය මිලියන 8 යි දශම 6 ක්. ඉන් මිලියන 3 යි දශම 5 කට ආසන්න පිරිසක් පෞද්ගලික අංශයේ සේවය කරනවා. කෝවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ රජය හදුන්වා දුන් සමාජ ආරක්ෂණ පියවර මගින් ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
වඩාත් පීඩාවට පත් ස්වයංරැකියාවල නිරත වූවන් සදහා රුපියල් පන්දහස බැගින් ස්ථාවර මාසික දීමනාවක් ප්රදානය කිරීම ඉන් ප්‍රමුඛතාව ගන්නවා. දෛනික වැටුප් ලබන සියලු සේවකයන් සේම පෙරපාසල් ගුරුවරුන් හා ස්වයංරැකියාවල නිරත වූවන් වැනි අවදානමට පත් පාර්ශ්ව ඉන් ආවරණය වුණා. ගුවන් ගමන් වාරණ පනවා තිබියදී පවා විදේශයන් හි සිට ශ්‍රී ලාංකිකයන් පහළොස් දහසකට ආසන්න පිරිසක් නැවත දිවයිනට ගෙන්වා ගත්තා.
රජයේ අරමුණ වූයේ සියලු දෙනාගේ ජීවිතාරක්ෂාවයි. මොවුන්ට යළිත් එම රටවලට නොගොස් දේශීය ශ්‍රම වෙළෙදපොළට දායක වීමේ අවස්ථාව නිර්මාණය වී ඇති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ව්‍යසනකාරී ළමා ශ්‍රම වෙළෙදපොළ වසර 2022 වන විට තුරන් කිරිමට ශ්‍රී ලංකාව පොරොන්දු වී තිබෙනවා.
ඒ සදහා කම්කරු දෙපාර්තමේන්තුවට ලැබෙන පැමිණිලි ඇදිරිනීතිය සමය තුළ පවා විමර්ශනය කළ බවයි ජනාධිපතිතුමා පැවසුවේ. සෑම රටකටම සිය වැඩ ලෝක යෝග්‍ය පරිදි පෙළ ගැස්වීමටත් ආරක්ෂාකාරී හා ශක්තිමත් ලෙස නැගී සිටීමටත් මෙම අවස්ථාව උපකාරී වනු ඇතැයි ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළා.