පානීය ජලයට විෂබීජයක් මුසුවීමෙන් පුද්ගලයින් සිය දෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර සදහා යොමු කෙරුණා.
විෂබීජ සහිත ජලය පානය කිරීමෙන් දික්ඔය දරවල ජනපදයේ පිරිසකුයි මෙසේ රෝගී තත්ත්වයට පත් වුණේ. ක්ලාන්තය, පාචනය හා වමනය ආදී රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සදහා යොමු කෙරුණා.
හැටන් සිංගිමලේ රක්ෂිතයෙන් සහ දික්ඔය හැඩ්ලි තේ වත්තෙන් ගලා බසිනා ජල මුලාශ්‍ර හරස් කර හැටන් දික්ඔය දරවල ජනපදයට පානීය ජලය ලබාගෙන එම ජනපදයේ ඉහළ කඳු මුදුනේ ඉදි කර ඇති ජල ටැංකිවලට ජලය රැස් කර, එම ජලය කිසිදු පිරිපහදුවකින් තොරව පවුල් 160 කට පමණ බෙදා හරිනු ලබන්නේ එම ජනපදයේම සමිති දෙකක් විසින් බව පදිංචිකරුවෝ කියා සිටින්නේ.
ඔවුන් කියා සිටින්නේ වසර 12 කට ප්‍රථම තම ජනපදයට පානීය ජලය ලබාගත් බවත්, එදා සිට අද වන තෙක් තම ජනපදයේ පිහිටුවා ගන්නා ලද සමිති දෙක ජනපදයට පානිය ජලය බෙදා හරින බවයි.
මෙසේ බෙදා හරිනු ලබන ජලය පානය කළ පිරිසක් ගත වු දින කිහිපය තුල දික්ඔය මුලික රෝහලෙන්ද ප්‍රතිකාර ලබා ඇති අතර තවත් පිරිසක් පෞද්ගලික බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා ඇති බව ඔවුහු කියති.
පානීය ජලයට විෂබීජයක් මුසුවීම හේතුවෙන් තම ජනපදයේ විශාල පිරිසක් එකවරම රෝගාතුර වන්නට ඇති බව එම ජනපදයේ පදිංචිකරුවෝ සැකකරති.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.