සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්රහණය තහවුරු කිරීම සඳහා පොළොන්නරුව සිරිපුර ප්රාදේශීය සභා ක්රීඩාංගනයේ පැවති ජන හමුවකට ජනාධිපතිතුමා එක් වූ අවස්ථාවේදී ගොවීන් මෙම ඉල්ලීම සිදු කළා.
විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජයට ලබා ගැනීමෙන් පසු ඒවා ප්රතිසංස්කරණය කිරීමට හා වී මිලදී ගැනීම විධිමත් කිරීමට ක්රම වේදයක් සකස් කළ බවයි ජනාධිපතිතුමා ගොවීන් සමඟ කියා සිටියේ. වී ගොවියාද රැකගනිමින් ගැටලුවක් ඇති නොවන පරිදි ඉදිරියේදී කටයුතු කිරීමට රජය සැළසුම් කර ඇති බවද රාජපක්ෂ මැතිතුමා මෙහිදී කියා සිටියා.
මහබැංකු බැදුම්කර වංචාවට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසද පොළොන්නරුව ප්රදේශවාසීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. රැකියා ප්රශ්නය මෙන්ම වනඅලි තර්ජනයද පොළොන්නරුව ජනතාව මුහුණපා ඇති ගැටලුවක්. එම ගැටලුවලටද විසදුම් ලබා දෙන ලෙස ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා.
මේ අතර පොළොන්නරුව කළුකැලේ ප්රදේශයේ පැවති ජනහමුවකටද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්වුණා. මනම්පිටිය ප්රතිභා ශාලාවේ පැවති ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමා වෙත මහාසංඝරත්නය යෝජනාවලියක් භාරදුන්නා. එතුමා වෙත ආශිර්වාද පල කරමින් සෙත් පිරිත් සජ්ඣායනාවක්ද සිදු කෙරුනු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ප්රතිභා ශාලාව ඉදිරිපිට රැස්ව සිටි ගුරුවරුන් පිරිසක් හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේද යෝජනාවලියක් භාර ගත්තා. මේ අවස්ථාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක රොෂාන් රණසිංහ මහතාද එක් වුණා.
කදුරුවෙල ප්රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවකටද ජනාධිපතිතුමා අද දහවල් සහභාගී වුණා. ප්රදේශයේ වැව් පිලිසකර කර දෙන ලෙසයි රැස්ව සිටි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ. බිත්තර වී සහ පොහොර ගැටලුව පිළිබඳවද ඔවුන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා. ගල්වල හංදිය තඹාල ප්රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවකටද ජනාධිපතිතුමා එක් වුණා. එහිදීද ජනතාව සමඟ සුහද කතාබහකට එක්වීමටද එතුමා අමතක කළේ නැහැ. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සංවිධාන කළ ජන හමුවක් පොළොන්නරුව දීප උයන ඉදිරිපිටදී පැවැත්වුණා. ජනාධිපතිතුමා එම ජන හමුවටද එක් වී ජනතාව සමඟ සුහද කතා බහක නිතර වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jBoYjp3K4zY”]