fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිනමන්ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ බැංකු ගිණුම හිස් වූ හැටි හෙළිවේ

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 11:57

සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් ඉන්ෂාෆ් අහමඩ් පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඔහුගේ බැංකු ගිණුමෙන් රුපියල් මිලියන 4 යි දශම 5 ක මුදලක් ලබාගෙන ඇති බව හෙළි වුණා.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය පිළිබද කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේයි මේ බව අනාවරණය් වී තිබෙන්නේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර එනම් 2019 වසරේ ජනවාරි මාසයේ සිට එම වසරේ අපේ‍්‍රල් 18 වනදා දක්වා කාලය තුළයි මෙසේ සිය බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන ඇත්තේ. එමෙන්ම ඔහුට හිමි කොලෝසස් නම් තඹ කර්මාන්ත ශාලාවෙන් 2012 වසරේ සිට 2019 දක්වා තඹ කන්ටේනර් 370 ක් විදේශයන්ට අපනයනය කර ඇති බව ද එම සමාගමේ කළමනාකාර සනුන් මොහොමඞ් ඉෂාඞ් කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ප‍්‍රකාශ කළා. කොලෝසස් සමාගමේ හිමිකරු ලෙස ඉන්ෂාෆ් අහමඞ් කටයුතු කළ ද පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ මුල් කාලයේ දී එම සමාගමේ හිමිකාරිත්වය මොහොමඞ් යූසුෆ් ඊබ‍්‍රහිම් සහ මොහොමඞ් ශිෆ්කාට පවරා ඇති බව කොමිසම හමුවේ ප‍්‍රකාශ කෙරුණා.

එහි මෙරට සේවකයන් 30 දෙනෙකු,  ඉන්දීය ජාතිකයන් 20 දෙනෙකු මෙන්ම නේපාල හා බංග්ලාදේශ ජාතිකයන් ද සේවය කළ බව සමාගමේ කළමනාකාරවරයා කියාසිටියා. විදේශයන් හි සේවකයන් මෙහි සේවයට එක්කර ගැනීමට හේතුව කුමක් දැයි කොමිසම විමසා සිටියා. තම සමාගම සතුව ඇති යන්ත‍්‍ර සූත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට දැනුම ඇත්තේ ඉන්දීය ජාතිකයන්ට බවයි ඔහු එහිදී ප‍්‍රකාශ කළේ. එමෙන්ම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන තඹවලින් වැඩි වශයෙන් ඉන්දියාවට අපනයනය කරන බව ද ඔහු පැවසුවා.

කොමිසම යළි විමසා සිටියේ විදේශිකයන් සඳහා වීසා ලබා ගැනීමේ කටයුතු සිදුවන්නේ කෙසේ ද යන්නයි. වාණිජ අමාත්‍යාංශය හරහා අවසරය ලබාගෙන වීසා කටයුතු සිදු කරන බවයි කළමනාකාරවරයා පැවසුවේ. සිය කර්මාන්ත ශාලාවට ලෝහ අබලි ද්‍රව්‍ය ලබා දෙන සැපයුම්කරුවන් සිටින බවත් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් ද ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ ලබා ගැනීම් සිදු කරන බවත් ඔහු ප‍්‍රකාශ කළා. එමෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ද සුළු වශයෙන් ලෝහ අබලි ද්‍රව්‍ය ලබා ගැනීම සිදුව තිබෙනවා. කොලෝසස් සමාගමේ හිමිකරු වන ඉන්ෂාෆ් අහමඞ් කුඩා කාලයේ සිට තමා හොඳින් දන්නා හඳුනන අයෙකු බවත් ඔහු දිනපතා කාර්යාලයට පැමිණෙන බවත් කළමනාකාරවරයා ප‍්‍රකාශ කළා.

එහෙත් 2018 වසරේ මැද භාගයේ සිට 2019 වසරේ අපේ‍්‍රල් අතර කාලය තුළ දී ඔහු කර්මාන්ත ශාලාවට පැමිණීමේ අඩුවක් පෙන්නුම් කර තිබෙනවා. බිරිඳ සහ දරුවන් සමග කාලය ගත කිරීමට මෙන්ම මහවිල උද්‍යානයේ නිවසේ සිටින සිය මව බැලීමට යන බව ඉන්ෂාෆ් අහමඞ් ප‍්‍රකාශ කළ බවයි ඔහුගේ සමාගමේ කළමනාකාරවරයා ප‍්‍රකාශ කළේ. කොලෝසස් සමාගම සතුව පිටකොටුව ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඇමෙරිකා ඩොලර්වලින් ගනුදෙනු කරන බැංකුවක් මෙන්ම ජංගම බැංකු ගිණුමක් තිබූ බව ද කොමිසම හමුවේ ප‍්‍රකාශ කෙරුණා. පියා සතුව පැවති රිෂානා එක්ස්පෝට් හි කටයුතු කළ ඉන්ෂාෆ් සහ ඉල්හාම් යන සහෝදරයන් පසුව එම ආයතනයෙන් ඉවත්වන බවට සිය පියාට ලිපියකින් දැනුම් දී තිබෙනවා.

තම පියා ණය සහ පොළී ගැනීමි සිදු කරන අතර එය පාපයක් වන නිසා මෙසේ ඉවත් වූ බවට ලිපියේ සඳහන් කර තිබූ බව ද සාක්‍ෂිකරු කියාසිටියා.

2019 වසරේ මැයි මස 17 වනදා ඉන්ෂාෆ් රුපියල් මිලියන 34 ක මුදලක් ලියූ චෙක්පතක් ලබා දී එය මාරුකරගෙන එන ලෙස තමන්ට දැන්වූ බව කළමනාකාරවරයා කොමිසම හමුවේ ප‍්‍රකාශ කළා.

පසුව ඔහු පිටේ බැඳගෙන යන ආකාරයේ බෑගයක් රැගෙන කාර්යාලයට පැමිණියා. ඉන්ෂාෆ් වසර එකහමාරක කාලයක සිට වෙනස් ආකාරයකට හැසිරුණු බව ද සාක්‍ෂිකරු වැඩිදුරටත් කියාසිටියා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්