හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්යක්ෂ ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර මහතා සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට තඹ ටොන් 500 ක් ලබා දෙන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හෙළිවුණා. ඒ එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේයි.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී රංජිත් අශෝක මහතායි කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ. පාස්කු ඉරිදා සිනමන් ග්රෑන්ඞ් හොටලයේ දී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් අයි එම් ඉන්ෂාෆ් අහමඞ්ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවට කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් අබලි ලෝහ නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා. එහි වාර්තාව පසුගිය වසරේ මැයි 6 වනදා නිකුත් වුණා.
ඒ අනුව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති මහින්ද ජිනසේන මහතා කොලෝසස් සමාගමට අබලි ලෝහ වැඩි වශයෙන් නිකුත් කිරීමට උපදෙස් ලබා දී තිබූ බව රංජිත් අශෝක මහතා කොමිසම හමුවේ කියාසිටියා. බෝම්බකරුට අයත් සමාගමේ විදේශිකයන් 25 දෙනෙකු සේවය කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට ඉන්ෂාෆ් අහමඞ් සමග සබඳකමක් පැවතියේ ද යන්න කොමිසම මෙහිදී විමසා සිටියා. ඉන්ෂාෆ්ගේ ගණකාධිකාරිවරයෙකු අමාත්‍යාංශයට ආගිය බවත් ඉන්ෂාෆ් හා අමාත්‍යවරයා අතර සබඳතාවක් තිබුණේ ද යන්න තමන් නොදන්නා බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා. ඉන්ෂාෆ් හොඳම ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍ර වී සිටි අයුරු තමන් පසුව පුවත්පතකින් දුටු බව ද කොමිසම හමුවේ ඔහු කියාසිටියා.
අවස්ථා කිහිපයකදී අබලි ද්‍රව්‍ය සහන මිලට ලබා ගැනීමට ඔහු ඉල්ලුම් කර තිබූ අතර විශේෂ අවස්ථා 2 ක් තමන් හඳුනා ගත් බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ. එක් අවස්ථාවක දී කොලෝසස් සමාගමට තඹ ටොන් 500 ක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්යක්ෂ ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර මහතා කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබූ බව ද මෙහිදී හෙළි කෙරුණා.
අදාළ ආයතනය කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මිල දී ගත් අබලි ලෝහ විදේශයන්ට අපනයනය කර ඇති බව හෙළි වූයේ දැයි කොමිසම රංජිත් අශෝක මහතාගෙන් ප්‍රශ්න කර සිටියා. එලෙස අපනයනය කර ඇති බවත් ඒ හරහා රටට විදේශ විනිමය උත්පාදනය කර ඇති බවත් සඳහන් කළ සාක්ෂිකරුගෙන් කොමිසම පෙරලා ප්‍රශ්න කළේ විදේශ විනිමය රටට ගෙන් වූ බවට ඔබ සඳහන් කරන මුදල් ඔවුන් විසින් අන්තවාදී කටයුතුවලට යොදා ඇති බව ඔබ නොදන්නේ ද යන්නයි. තමන් ඒ පිළිබඳ දන්නා බව සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් කියාසිටියා. කොලෝසස් ආයතනයට අදාළ ද්‍රව්‍ය අපනයනයට අවස්ථාව හිමි වූයේ එවකට අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුදීන් හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් අත්සන් යොදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ පත්‍රිකාවක් මඟින් බව ද ඔහු තවදුරටත් කොමිසම හමුවේ සඳහන් කළා.