fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාකොටික් 11දෙනා රඳවා ප්‍රශ්න කිරීමට CIDයට අවසර – නාකොටික් ලොක්කාටත් ස්ථාන මාරුවක්

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 18:46

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ රහස් පොලිස් අත්අඩංගුවට පත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 11 දෙනා ලබන 8 වනදා දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයට අවසර ලබා දුන්නා. ඒ සැකකරුවන් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගිනුයි.

මත්කුඩු ජාවාරමේ නිරතවීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 04 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනුණා. ඒ ජුනි මස 19 වනදා ආරම්භ කළ මූලික විමර්ශනවලට අනුවයි. ඒ  ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් හා  එක්ව මත්ද්‍රව්‍ය බෙදා හැරීම, අලෙවිය හා ඔවුන්ගේ විවිධ  කටයුතුවලට සහාය දක්වමින් කෝටි ගණනින් මුදල් උපයාගෙන ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් රහස් පොලිසියට තොරතුරු වාර්තා වී තිබුණා. ඒ අනුව  සිදු  කළ දීර්ඝ  විමර්ශනවලින් අනතුරුවයි මෙම නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදාගත් රථවාහන දෙකක්, අවි ආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලබා ගත් රුපියල් තුන් කෝටි දොළොස් ලක්ෂයක මුදලක් හා රන් ආභරණ තොගයක් ද රහස් පොලිස් භාරයට ගැනුණා. එමෙන්ම මෙම නිලධාරීන් රථවාහන තුනක් මිලදී ගෙන ඇති බවත් විවිධ ප්‍ර දේශවලින් ඉඩම් අක්කර 10ක් මිලදී ගෙන ඇති බවත්, රහස් පොලිසිය හෙළිකර ගත්තා. ඔවුන්ට අයත් ගිණුම් තුනක් මේ වන විටත් තාවකාලිකව තහනම් කර තිබෙනවා.

මෙම ජාවාරම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පොලිස් පරික්ෂකවරයා අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පුළුල් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි. මෙම නිලධාරියා රටින් පළායාමට උත්සාහ දරන බවට ලැබී ඇති තොරතුරු මත එය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගැනීමටයි කටයුතු කෙරුණේ. මෙම ජාවාරමට සම්බන්ධ තවත් පිරිස් ඇති බවට සැක කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම පුද්ගලයින් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරික්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

අද අත්අඩංගුවට ගැනුණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාල නිලධාරීන් 11 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගැනුණේ. අත්අඩංගුවට පත්ව සිටින මෙම ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ගෙන් මේ වන විට වැදගත් තෙරතුරු රැසක් හෙළිවී තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් සමග මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ වී කටයුතුකළ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සියලු දෙනාගේ වත්කම් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පරික්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා පොලිස් සුබසාධක කොට්ඨාසයට මාරු කර තිබෙනවා. වැඩබලන පොලිස්පතිවරයා කළ නිර්දේශයට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo