පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැළසීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් ඇමෙරිකා ඩොලර් මිලියන 5 ක මුදලින් ප්‍රහාරයෙන් හානි වූ කිසිවෙකුටත් මෙතෙක් සහනයක් සැළසී නැති බව අද හෙළිවුණා.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේදීයි මෙම කරුණු අනාවරණය කෙරුණේ. කොළඹ නෙළුම්පොකුණේ පැවති උත්සවයකදී ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් මෙම මුදල ලබාදී ඇති බව ද ප්‍රකාශ කෙරුණා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඊයේ දිනයේ සාක්ෂි ලබාදුන්නේ කොළඹ අගරදගුරු පදවියෙහි සමාජ සුබසාධන ආයතනය වන සෙත්සරණ අධ්යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමායි. සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් ලෝරන්ස් පියතුමා සඳහන් කළේ පාස්කු දිනයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ මඩකලපුව සියෝන් දේවස්ථානය වෙනුවෙන් අගරදගුරු හිමියන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 5 ක චෙක්පත සමඟ එවක එම දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයා කැනඩාවට ගොස් ඇති බවත් තවමත් ඔහු මෙරටට පැමිණ නැති බවත්ය.
ප්‍රහාරයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී පවුල් 78 කට අයත් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් ඉන් තිස් දෙදෙනෙකු කුඩා දරුවන් වන බවත් පියතුමන් කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙවස්ථානයේ පිපිරීමෙන් පවුල් 42 ට අයත් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ද සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. ඉන් පවුල් 13 ක් හින්දු ආගමට අයත් අතර බෞද්ධයින් 5 දෙනෙකු ද ඒ අතර සිටින බවයි පියතුමා කොමිසම හමුවේ සඳහන් කළේ.
මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් මගින් කොළඹ නෙළුම්පොකුණේ පැවති උත්සවයක දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් ඇමෙරිකා ඩොලර් මිලියන 5 ක මුදලින් බෝම්බයෙන් තුවාල ලැබූ පුද්ගලයින් කිසිවෙකුට දායකත්වයක් ලැබී නොමැති බව පියතුමා මෙහිදී කොමිසමට හෙළිකළා. එමෙන්ම අදාළ මුදලට කුමක් සිදුවූයේදැයි තවමත් තමන් නොදන්නා බවයි උන්වහන්සේ කොමිසම හමුවේ කියාසිටියේ.