නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ එම් එල් ඒ එම් හිස්බුල්ලා විසින් 1993 වසරේ දි එම පළාතේ ජනතාවට ප්‍රසිද්ධියේ අවි ආයුධ බෙදා දුන් බව මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා සඳහන් කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව හමුවේ ඊයේ දිනයේ සාක්ෂි ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම ආරම්භ කරමින් මාධ්‍යවේදී කමලේන්ද්‍රන් සඳහන් කළේ 2009 වසරේ ජූලි මාසයේ දී බේරුවල එක්තරා මුස්ලිම් පල්ලි දෙකක් අතර ඇතිවු ගැටුමකින් පසුව තමන් කාත්තන්කුඩි ප්‍රදේශයට ගිය බවයි. එහිදී සහරාන්ගේ කණ්ඩායම සහ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතර විවිධ අවස්ථාවලදී ඇතිවූ ගැටුම් පිළිබඳව තමා එහිදී දැනගත් බව කොමිසම හමුවේ ඔහු සඳහන් කළා.
එමෙන්ම කාත්තන්කුඩි ප්‍රදේශයේ දී සහරාන්ව හමුවූ බවද ඔහු මෙහිදී කියා සිටියා. එම හමුව ඔහුගේ කාර්යාලයක් තුළ සිදුවූ බවත් හමුව සිදුවන අවස්ථාවේ ඔහු සතුව ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් තිබූ බවත් සාක්ෂිකරු කොමිසමට කියා සිටියා. ආදාළ ගිනි අවි පිළිබදව තමන් වෙනත් පුද්ගලයෙකුගෙන් විමසූ බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේ එම ගිනි අවි හිස්බුල්ලා විසින් බෙදා දුන් ඒවා විය හැකි බවත් යන්නයි.
එම ආයුධ බෙදා දීම සිදුවූයේ කුමන කාල වකවානුවකදැයි යන්න කොමිසම මෙහිදී විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ 1993 වසරේ කාත්නන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ලවූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට හිස්බුල්ලා හරහා මෙම ගිනි අවි බෙදා දී ඇති බව අනාවරණය වී ඇති බවයි. එමෙන්ම 2009 වසර වන විට සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ නිවාස 100කට වැඩි ප්‍රමාණයක් විනාශ කර තිබූ බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියා.