කොළඹ හා තදාසන්න ප්රදේශවලදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් හා සෝභිත රාජකරුණා යන මහත්වරුන් මෙම නියෝගය ප්රකාශයට පත් කළා. මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු බල පැවැත්වෙනවා.
පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලබන මස 22 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය නීතිපතිවරයාට නියෝග කළා. කිසිදු සාක්ෂියක් නොමැතිව සිය සේවාදායකයා නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සදහන් කළා.