හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ අද (23) පෙනී සිටියා.
ඒ ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය දා කොමිසම නිකුත් කළ නොතීසියට අනුවයි.
ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා පෙනී සිටිමින් ප්‍රකාශ කළේ පසුගිය කාලය තුළ තමන්ට දේශපාලන පළිගැනීම් සිදු වූ බවයි. ඊට අදාළ වගඋත්තරකරුවන් 17 දෙනෙකුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණා. ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන් කොමිසම හමුවේ අද (23) පෙනී සිටියා.
කෙසේ වුවත් නොතීසි නිකුත් කර තිබූ අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද (23) දිනයේ පැමිණිමට නොහැකි බව කොමිසමට ලිඛිතව ඉදිරිපත්කර තිබුණා. සාක්ෂි ලබාදීම සඳහා සිතාසි නිකුත් කෙරුණු හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ද කොමිසම හමුවේ අද (23) පෙනී නොසිටි අතර ඔහු ඉදිරි දිනයක දී කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැනුම් දුන්නා.
ජනාධිපති කොමිසමට සහායදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර සිටියදීත් එහි සාමාජිකයෙකු නොවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා කොමිසම හමුවේ කරුණු දැක්වීමට ඉදිරිපත් වුවද සභාපති විනිසුරුවරයා ඊට අවසර ලබාදුන්නේ නැහැ. කොමිසමට සහාය දෙන නීතීඥ මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන අයෙකුට කොමිසම හමුවේ කරුණු දැක්වීමට හැකියාවක් නොමැති බවයි සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත් විකුම් ද ආබෲ මහතා දිගින් දිගටම යම් කරුණක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා සිටියදී සභාපති විනිසුරුවරයා අවවාද කළේ කොමිසමේ නියෝගවලට අවනත නොවන්නේ නම් අභියාචනාධිකරණයට පැමිණිලි කරන බවයි.