රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් වූ කංජිපානි ඉම්රාන්ගේ පියාට තිබුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කළ සිද්ධියට අදාළ සැකකරුවන් 05 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාලිගාවත්ත සද්ධර්ම මාවත අසලදී ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයින් 03 දෙනෙකු කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කළේ පසුගිය 17 වනදා සවස් කාලයේයි. එහිදී තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අතර ප්‍රහාරයට සම්බන්ධ එක් සැකකරුවකු එදිනම අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලීසිය සමත් වුණා.
සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා හා ඊට අනුබල දුන් තවත් පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ මාලිගාවත්ත ප්‍රදේශයේදීයී. මෝදර පොලිස් වසමේ සත්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණය අසලදී මෙම සිද්ධියට සම්බන්ධ 19 හැවිරිද තවත් සැකකරුවකු ද අද (19) පස්වරු 03.50 ට පමණ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. ඔහු රොනාල් සිල්වා හෙත් රොගාන්සන් නමැත්තෙක්.
ඊයේ (18) සහ පෙරේදා (17) අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එක් සැකකරුවකු ජුලි දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.සෙසු සැකකරුවන් තිදෙනා හෙට (20) දිනය දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබා දුන්නා.
මේ අතර පසුගිය 29 වනදා ගල්කිස්ස පොලිස්වසමේ සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු හා සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රහාරයට යොදා ගැණුනු මෝටර් රථ රියදුරුගේ මව සහ තවත් පුද්ගලයකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකාරිය පදිංචි මොරටුමුල්ල නිවසේ ටැංකියක සඟවා තිබූ ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් මිලිමීටර් 09 වර්ගයේ පතොරම් 03 ක් / ටී 56 හිස් පතොරම් 06 ක් හා ප්ලාස්ටික් පිස්තෝලයක් සොයා ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කළා.