සඳහිරු සෑයේ තැන්පත් කිරීම සදහා ඉදිකළ බුද්ධ ප්‍රතිමාවට අවශ්‍ය රත්‍රං නිකුත් කිරීම සදහා තමන්ට උපදෙස් ලබා දුන්නේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවට පවසන්නැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බලපෑම් කළ බව විශ්‍රාමික අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල් තාරක සෙනවිරත්න මහතා පවසනවා.
දේශපාලන පලිගැනීම් පිලිබද විමර්ෂණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඒ මහතා මේ බව හෙළි කළා.
2014 වසරේ සැප්තැම්බර් පළමුවනදා උතුරු මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදාව රත්‍රං කිලෝග්‍රෑම් 45 ක් අත්අඩංගුවට ගත්තා. සැප්තැම්බර් දෙවනදා එය රේගුවට භාරදුන්නා. ඊට පසුදින ඒවා රාජසන්තක කිරීමෙන් පසු නාවික හමුදාව රේගුවට ලිපියක් නිකුත් කරමින් සඳහිරු සෑයේ තැන්පත් කිරීමට අපේක්ෂිත රත්‍රං බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීම සඳහා අත්අඩංගුවට ගත් මෙම රත්‍රං වලින් කිලෝග්‍රෑම් 08 ක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවයි සෙනෙවිරත්න මහතා කියා සිටියේ.
එහෙත් ක්රවේදය අනුව යම් දෙයක් රාජසන්තක කිරීමෙන් දින 30 ක කාලයක් ගත වූ පසුවයි එය ලබාදිය හැකිවන්නේ. එබැවින් රේගුව සතුව පැවති වෙනත් නිරවුල් රත්‍රං සංචිතවලින් එය නිකුත් කිරීමේ හැකියාවක් ඇති බවට තමන් නිර්දේශ කළ බවයි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් විශ්‍රාමික අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ. තමන් විශ්‍රාම යාමෙන් පසුව 2017 වසරේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට තමන් කැඳවා ප්‍රකාශයක් ලබා ගත් බවද ඔහු කියා සිටියා. එතැන් සිට වසර 02 ක් ගත වන තුරුත් ඒ සම්බන්ධයෙන් කිසිඳු විභාගයක් සිදු කළ බවට තමන්ට දැන ගැනීමට නොලැබුණු බවට තාරක සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.
2019 වසරේ තමන් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු පැමිණ මේ සම්බන්ධයෙන් යළි විමර්ශන කරන ලෙසට දැනුම් දී ඇති බව ප්‍රකාශ කළා. ඔවුන් රැගෙන ප්‍රශ්න විසි එකකට පිළිතුරු ලබා ගත්තා. එයින් එක් ප්‍රශ්නයක් වූයේ ”දැන්වත් පිළිගන්නවාද ගෝඨාභයයි මේකට උපදෙස් දුන්නේ කියල” යන්නයි. මෙසේ ප්‍රශ්න කිරීම සිදු වූයේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවා තිබූ කාල වකවානුවක බව විශ්‍රාමික අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියා. බදුල්ල රෝහලේදී මෙසේ ප්‍රශ්න කිරීමෙන් පසු තමන් බන්ධනාගාර ගත කළ බව ඔහු පැවසුවා.
එසේ සිදු කළේ අදාළ බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ කාර්ය සඳහා කටුනායක ගුවන්තොටුපලේ තිබූ රත්‍රං නිකුත් කිරිමට නිර්දේශ කරමින් ලිපියක් ඇති බවට චෝදනා කරමින්. කෙසේ වෙතත් අදාළ කාර්ය සඳහා අවශ්‍ය රත්‍රං ලබාදීම සිදුව ඇත්තේ වෙනත් රේගු නිලධාරියකුගේ නිර්දේශයකට අනුවයි. ඒවා කටුනායක ගුවන්තොටුපලේ රේගුවෙන් නොව කොළඹ වරායෙන් බවද සෙනෙවිරත්න මහතා කියා සිටියා.
එමෙන්ම මෙසේ මුදා හැර ඇත්තේ 1986 වසරේදී අත්අඩංගුවට ගත් රත්‍රං තොගයක් බවද දේශපාලන පළිගැනීම් පිලිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී හෙළි වුණා.
කෙසේ වුවද අසත්‍ය චෝදනාවක් හේතුවෙන් තමා සිරගත කළ බවයි තාරක සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියේ.