පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ආරක්ෂාව ලබාදෙන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසන් සභාව, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට නියෝග කළා.
පාස්කු ප්‍රහාරය පිළිබදව ලබා දුන් සාක්ෂිය හේතුවෙන් උන් වහන්සේගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙතැයි කොමිසන් සභාවට හැගී යන බැවින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසන් සභාවට දින 3 ක් පුරා දීර්ඝ ලෙස සාක්ෂි ලබා දුන්නා. එම සාක්ෂි විමසීම අවසානයේදී කොමිසන් සභාවේ සභාපති විනිසුරුවරයා ආරක්ෂාව ලබාදීම සඳහා මෙසේ උපදෙස් ලබා දී තිබෙන්නේ.
නැගෙනහිර පළාතේ ඇති පුරාවිද්‍යා වටිනාකම්වලින් යුත් ස්ථාන 60 ක් පමණ මේ වන විට විවිධ කණ්ඩායම්වල මෙහෙයවීමෙන් විනාශ කර ඇති බව උන් වහන්සේ කියා සිටියා. සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කිරීමට පෙර දිනයේ ගල්කිස්සේ පිහිටි නිවාස සංකීර්ණයක් තුළ පටිගත කළ වීඩියෝව කොමිසම ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණා. සහරාන් ඇතුළු බෝම්බකරුවන් මෙරට තුළ ප්‍රහාර එල්ල කිරීමට හේතූන් අතර ඥානසාර ස්වාමීන් වහන්සේගේ නම අදාළ වීඩියෝවේ දෙවරක් ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඥානසාර ස්වාමීන් වහන්සේ කියා සිටියේ වහබ්වාදීන්ගේ ජීවිත හෝ ඉගැන්වීම් පිළිබඳ ප්‍රශ්න කරන අය යක්ෂයන් ලෙස හඳුන්වන බවයි. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන 1089 ක් පවතිනවා. මේ අතුරින් 60% ක් පමණ දැනටමත් විනාශ කර ඇති බවයි ඥානසාර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ. නිකාබ් හා බුර්කා පැළදීම තහනම් කළ යුතුයි. බෙදුම්වාදයක් නිර්මාණය කළ හලාල් ක්‍රමය අහෝසි කිරීමට 2013 වසරේදී මුස්ලිම් නායකවරුන් තීරණයකට එළඹුනා. එහෙත් මේ වන විට යළිත් හලාල් හි සළකුණ වෙනස් කරමින් විවිධ නිෂ්පාදන වෙළෙදපොළට නිකුත් කිරීමට ඇතැමුන් කටයුතු කර ඇති බවද උන් වහන්සේ ප්‍රකාශ කළා.
කොමිසම මෙහිදී ප්‍රශ්න කළේ ඉදිරියේදී පවතින ජාතික අවදානම කවරේද යන්නයි. ඊට පිළිතුරු දුන් ඥානසාර ස්වාමීන් වහන්සේ කියා සිටියේ හෙට දිනයේ දියසෙන් කුමාරයා පැමිණියද මෙය අවසන් කළ නොහැකි බවයි. අන්තවාදී ඉගැන්වීම් සිදු කරන තෙක් මෙම ගැහැට විදීමට සිදුවනවා. බුද්ධි අංශ හා ආරක්ෂක අංශවල දැඩි අවදානය යොමු කිරීම මඟින් මෙය පාලනය කිරීම පමණක් කළ හැකි බවද උන් වහන්සේ කියා සිටියා.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම පවා එකවට සිටි නායකයන් භාර ගත්තේ නැහැ. එවකට සිටි ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිස ප්‍රහාරයේ වගකීම ගැන විවිධ ප්‍රකාශ සිදුකිරීම පමණක් තවමත් සිදුකරමින් සිටින බව ද උන් වහන්සේ කියා සිටියා.