fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දර්ගා කලබලය අස්සේම නැගෙනහිරත් නොසන්සුන් කරන්න සහරාන් කළ සැළැස්ම හෙළිවේ

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 18:20

2014 වසරේ අලුත්ගම දර්ගා නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේ එවැනිම නොසන්සුන්කාරී තත්ත්වයක් නැගෙනහිර පළාත තුළ ඇති කිරීමට සහරාන් ඇතුළු පිරිසක් සැළසුම් කළ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ හෙළිවුණා.

එවක නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ඩෘෘ ලාල් පෙරේරා මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් සදහන් කළේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපනය කර තිබූ විශේෂ බුද්ධි අංශ හරහා එවැනි තත්ත්වයන් නිසි පාලනයට ලක්කළ බවයි.

සාක්‍ෂි ලබාදීම ආරම්භ කරමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ඩෲ ලාල් පෙරේරා මහතා සඳහන් කළේ තමා නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේ එක් බුද්ධි අංශ කණ්ඩායමක් ත්‍රිකුණාමලයට යොමුකර තිබූ බවයි. තමන් එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් තවත් බුද්ධි බලකායක් ඉල්ලා සිටි බවත් එම බලකාය ආරක්‍ෂක ලේකම්වරයා ලබාදුන් බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියා. ත්‍රිකුණාමලයට එක් කණ්ඩායමක් හා අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික් ආවරණයට සෙසු කණ්ඩායම් යොමුකළ බව ද සඳහන් කළ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා ත්‍රිවිධ හමුදාව හා පොලිස් බුද්ධි නිලධාරීන් ඊට අනුයුක්ත කළ බවද මෙහිදී කියාසිටියා.

නැගෙනිර පළාත තුළ බුද්ධි සමාලෝචන රැස්වීමක් සෑම මසකම පැවැත්වූ බවත් ආරක්‍ෂක ලේකම්වරයා හා ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ කණ්ඩායමක් සමඟ මාසිකව එම තොරතුරු සමාලෝචනය කළ බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා. කොමිසම එහිදී විමසුවේ එවකට නැගෙනහිර ජන කොට්ඨාස අතර ස්වදේශිකභාවය ඉක්මවා කටයුතු කිරීමේ වෙනස්වීම් දක්නට ලැබුණේ ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ඇන්ඩෲ ලාල් පෙරේරා මහතා කියාසිටියේ කාත්තන්කුඩි හා කින්නියා ප්‍රදේශ අරාබිකරණය වීම ආරම්භවී ඇති බවට තොරතුරු බුද්ධි අංශ සොයාගත් බවයි. එහෙයින් ආරම්භයේදීම එය මැඩපැවැත්වීමට හැකි වූ බවද විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා සඳහන් කළා. එලෙස අරාබිකරණ කටයුතු සිදුකළ අයට දේශපාලන සහයෝගයක් තිබුණේදැයි කොමිසම මෙහිදී ප්‍රශ්න කළා. දේශපාලනඥයින් එලෙස ක්‍රියාකර තිබුණත් තමන් ඔවුන් ගැන කිසිඳු තැකීමක් නොකළ බවයි ඊට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ.

ඇතැම් ප්‍රදේශ එළිවන විට අක්කර සියය බැගින් ඩෝසර් කළ කාලයක් තිබුණා. දීඝවාපිය, මුහුදු මහා විහාරයට අයත් ඉඩම් අහිමිවීමට පටන් ගත්තා. අපි කඩිනමින් ක්‍රියාත්මකවෙලා එම ස්ථානවල කඳවුරු ඉදිකරලා ආරක්‍ෂා කළා. ගෙවල් 10 ක් 12 කට එක පල්ලිය ගානේ ඉදිවෙන්න ගත්තේ විදේශවලින් ආධාර ලබාගන්න යැයි ඔහු කොමිසම හමුවේ තවදුරටත් කියාසිටියා. එම කාලවකවානුවේ නැගෙනහිර සිටි ප්‍රබල දේශපාලනඥයින් කවුරුන්දැයි කොමිසම ප්‍රශ්න කළ අතර කාත්තන්කුඩි ප්‍රදේශයේ වැඩි වශයෙන් දේශපාලන ක්‍රියාවල නිරත වූයේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම හිටපු අමාත්‍ය රවුෆ් හකීම් දීඝවාපිය අවට ඉඩම් ගැටලු විසඳීමට ඉදිකළ කඳවුරු ඉවත් කරන ලෙස ඉහළ නිලධාරීන්ට බලපෑම් කළ බවද මෙහිදී හෙළිකෙරුණා. ඉන් අනතුරුව නැගෙනහිර හිටපු ආඥාපතිවරයා වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් නැගෙනහිර පළාතේ හිස එසවීමට තැත්කළ අන්තවාදය මැඩපැවැත්වූ අයුරු පැහැදිලි කළා. 2014 වසරේ දර්ගා නගරයේ ඇතිවූ ගැටුමෙන් පසු නැගෙනහිර විහාරස්ථානයකට හෝ භික්‍ෂූන් වහන්සේ නමකට පහරදීමට තවුහිද් ජමාත් සංවිධානය කළ සැළසුමක තොරතුරු හෙළිවූ බව ඇන්ඩෲ ලාල් පෙරේරා මහතා කොමිසම හමුවේ සඳහන් කළා. එම කුමන්ත්‍රණයට අදාළ පිරිස කඳවුරට කැඳවා දැඩිසේ අවවාදකර එය වැළැක්වූ බවද ඔහු මෙහිදී කියාසිටියා.

කොමිසම එහිදී ප්‍රශ්න කළේ එම පිරිස අතර සිටි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය පසුව හෙළිවූයේද යන්නයි. පිරිස අතර සහරාන් හෂීම් සිටි බව ප්‍රහාරයෙන් පසු දැනගත් බව සාක්‍ෂිකරු සඳහන් කළා. කොමිසම එහිදී විමසා සිටියේ එතරම් ප්‍රබල ලෙෂ ක්‍රියාත්මක වූ බුද්ධි අංශයට පසුව සිදුවුයේ කුමක්ද යන්නයි. 2015 වසරේ නව රජය පැමිණීමෙන් පසු තම සේවා කාලය අවසන් වී ස්ථාන මාරුවක් ලැබුණු බවත් ඉන් පසු බුද්ධි අංශ ක්‍රමයෙන් දුර්වලවීමට විවිධ කරුණු බලපෑ බවත් ඔහු ඊට පිළිතුරු දෙමින් කියාසිටියා.

2015 න් පසු බුද්ධි අංශ නිලධාරීන් රැසක් සිරගත කළා. ඒ තුළින් බුද්ධි අංශ ක්‍රියාවලිය අඩපණ වුණා. බුද්ධි ජාලය බිඳවැටීම නිසා සහරාන් වැනි පුද්ගලයින් මෙතරම් විනාශයක් කිරීමට බලවත් වූ බවයි ඔහු තවදුරටත් කොමිසම හමුවේ කියාසිටියේ. 2015 ට පෙර රැඩිකල් කණ්ඩායම් නිරීක්‍ෂණය සඳහා ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළ නොකඩවා සිදුවූයේ නම් පාස්කු ප්‍රහාරය වැනි අවාසනාවන්ත සිදුවීමකට ඉඩක් නොලැබෙනු ඇති බව තමන් විශ්වාස කරන බවයි විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ඩෲ ලාල් පෙරේරා මහතා තවදුරටත් අනාවරණය කළේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්