ශ්‍රී ලාංකේය සිනමාවට මෙන්ම කතෝලික ජන සන්නිවේදන ක්ෂේත්රයේ උන්නතියට මහගු මෙහෙවරක් කළ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා ස්වර්ගස්ථ වුණා. උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට 89 වන වියේ පසුවුණා.
1931 වසරේ අගෝස්තු 31 වනදා මාරවිල පෝරුතොට කරදිය ගම්මානයේ දී උපත ලැබූ පෝරුතොටගේ රේමන්ඩ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු හෙවත් අර්නස්ට් පෝරුතොට පියතුමා පූජාත්වයට පත්වන්නේ 1957 වසරේයි. ඒ,කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදීයි. සිංහල සිනමාවට සහ කතෝලික සභාවට සිංහලකම ගෙන ආ පියතුමා ලෙස උන්වහන්සේ කා අතරත් ගෞරවාදරයට පත්වුණා. ක්‍රිස්තියානි චාරිත්‍ර දේශීය කරණයට ලක් කිරීමේ යෝජනාවට අනුව තෙල්,මල්, පුන්කලස්, ගොක්කොල තොරණ් දේවස්ථානයට ගෙනඒමට අර්නස්ට් පියතුමා ප්‍රමුඛත්වය ගත්තා. තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයට නව පනක් දුන් උන්වහන්සේ සිග්නීස් ලෙස හඳුන්වන ජාත්‍යන්තර සිනමා පර්ෂදයේ ශ්‍රී ලංකා ශාඛාව වූ ඕ සී අයි සී ආයතනයේ ආරම්භක අධ්යක්ෂවරයා ලෙස ද ක්‍රියා කළා. ඒ තුළින් දක්ෂ සිනමාකරුවන් රැසක් ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්රයට හඳුන්වා දීමට හැකිවුණා. මෙරට සිනමා කෘති රැසක් ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට හැකිවුණේ පෝරුතොට පියතුමාගේ මැදිහත්වීමෙන්. උන්වහන්සේ “කිතුනු පෙරළිය“ සහ ‘‘ගිහියා“ ඇතුළු කෘති රැසක් රචනා කර තිබෙනවා.