fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තවාදී සංවිධාන 43ක් ගැන ඥානසාර හිමි කොමිසමේදි හෙළි කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2020 18:18

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී සංවිධාන 43 ක් පමණ ක්‍රියාත්මක බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අද (13) දිනයේ සාක්ෂි ලබාදෙමිනුයි උන්වහන්සේ මේ බව සදහන් කළේ.

මේ අතර අන්තවාදී මත දරණ ජාත්‍යන්තර මුස්ලිම් නායකයෙකු සමග හිටපු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ ඥාතියෙකු,  කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයෙක්,  ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එච් එම් අමීන් යන පුද්ගලයින් පෙනී සිටින ඡායාරූප කිහිපයක් ද ඥානසාර හිමියන් කොමිසම වෙත අද ඉදිරිපත් කළා.

සාක්‍ෂි විමසීම ආරම්භ කරමින් කොමිසම ඥානසාර හිමියන්ගෙන් විමසා සිටියේ මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් මුල්වරට තොරතුරු ලැබුණේ කුමන කාලයේද යන්නයි. ඊට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ සඳහන් කළේ 2012 වසරේ නොවැම්බර් මාසයේ දී තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදුබල සේනා කාර්යාලයට මුස්ලිම් තරුණ කණ්ඩායම 4 ක් පැමිණ තමන් හමුවූ බවයි.

එහිදී වහබ්වාදය හේතුවෙන් වැඩි දිනයක් යන්නට පෙර රටේ ප‍්‍රශ්න ඇතිවන බව ඔවුන් තමන් සමඟ සඳහන් කළ බව ඥානසාර හිමියන් කොමිසම හමුවෙ කියාසිටියා. මේ ගැන අපිට කතාකරන්න බෑ. අපේ හත්අට දෙනෙක් දැනටමත් මරල දාලා. තවත් කිහිප දෙනෙක් අතුරුදන්වී තිබෙනවා. යැයි ඔවුන් තමන් සමඟ වැඩිදුරටත් පැවසූ බව ඥානසාර හිමියන් කොමිසම හමුවේ සඳහන් කළා. අනතුරුව කොමිසම ඥානසාර හිමියන්ගෙන් විමසා සිටියේ තමන් හමුවට පැමිණි පුද්ගලයින්ගේ නම් කොමිසම හමුවට ප‍්‍රකාශ කරන ලෙසයි.

අදාළ පුද්ගලයින්ගේ ජීවත වලට දැනටමත් අවදානමක් ඇතිවී තිබෙන හෙයින් එම පුද්ගලයින්ගේ නම් රහසිගත ලෙස කොමිසමට ලබාදීමට ඥානසාර හිමියන් කටයුතු කළා. තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ මෙරට තුළ අන්තවාදී ඉස්ලාම් මත දරණ ප‍්‍රධාන පාර්ශ්ව 4 ක් සිටින බවයි. තබ්ලික් ජමාත් මතවාදය, වහබ්වාදය, සලෆි මතවාදය සහ ජමාතේ ඉස්ලාම් යන මතවාදීන් මෙලෙස අන්තවාදී කාණ්ඩයන් ලෙස හදුනාගෙන ඇති බවයි. විවිධ නම්වලින් ආහාර සකස් කළත් ඊට යොදාගන්නේ එකම පාම්පිටි සේ මොවුන් ද මේ අයුරින් විවිධ නම්වලින් සංවිධාන ගොඩනගා ඇති බව ඥානසාර හිමියන් කොමිසම හමුවේ කියාසිටියා.

එමෙන්ම සහරාන් වැන්නන් බිහිවීම හා සන්නද්ධවීම සිදුවන්නේ මේ අතරින් දරුණුතම මතවාදය වන ජමාතේ ඉස්ලාම් මතවාදය ඔස්සේ බව කොමිසමට පෙන්වා දුන් ඥානසාර හිමියන් තවදුරටත් සඳහන් කළේ දෙවියන් වෙනුවෙන් ඕනෑම මොහොතක මරාගෙන මැරෙන්නට මොවුන් සූදානමින් සිටින බවයි. එමෙන්ම ජමාතේ ඉස්ලාම් මතධාරීන් චින්තන ජිහාඩය පතුරවන බව කොමිසම හමුවේ සාක්ෂි දෙමින් උන්වහන්සේ සඳහන් කළා. බේරුවල පිහිටි ජලීමියා නලීමියා ඉස්ලාම් ආයතනයෙන් මෙම සිදුවීම් මාලාව ක‍්‍රියාත්මක වන බවත් ඉන් අධ්‍යාපනය ලබන්නන් වැඩිදුර අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වී ඇති බවත් කොමිසහ හමුවේ උන්වහන්සේ සාක්‍ෂි ලබාදෙමින් කියාසිටියා.

එලෙස අධ්‍යාපනය ලැබූවන් අද වනවිට රැකියා සඳහා මෙරට ආර්ථික මරමස්ථාන රැසකට යොමුකර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. එවැනි පුද්ගලයින් 4,000 ක් පමණ සිටින බවද, ඉන් පිරසක් රජයේ ඉස්ලාම් පෙළපොත් සැකසීම සඳහා දායකවී ඇති බවද සාක්‍ෂි ලබාදෙමින් ඥානසාර හිමියන් කියාසිටියා. ඒ අනුව 9 ශ්‍රේණිය, 12 ශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ ඉස්ලාම් පෙළපොත් සඳහා ඊජිප්තුවේ ඉවාන් මුස්ලිම් සංවිධානයේ නායකයා සම්බන්ධයෙන් වන ඉගැන්වීම් ඇතුළත්කර ඇති බවද උන්වහන්සේ කොමිසම හමුවේ හෙළිකළා.

මේ අතර 13 ශ්‍රේණියේ ඉස්ලාමීය ගුරු මාර්ගෝපදේශ පොතෙහි 43, 63, 109 හා 123 යන පිටුවල ද එය අන්තර්ගතව ඇති බව ඥානසාර හිමියන් කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2020 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්