fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු 30 ක් ගියත් තවමත් නොදැක්ක මානව හිමිකම

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 16:10

නැගෙනහිර පළාතේදී නිරායුධ පොලිස් නිලධාරීන් 700 දෙනෙකු ම්ලේච්ඡ ලෙස කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වී අදට වසර 30 ක් පිරෙනවා. ඊනියා සටන් විරාමයකට මුවා වී සිටි ත්‍රස්තයින් මෙම සංහාරය සිදු කළේ රටම කම්පාවට පත් කරමින්. එවකට සිටි පාලකයන්ගේ තීන්දු තීරණ නිසා නිරායුද පොලිස් නිලධාරීන් ත්‍රස්තයන් අතින් එදා ඝාතනයට ලක්වුණා.

1987 වසරේ ජුලි 29 වනදා ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කරමින් එවකට හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා සටන් විරාමයකට එළඹුනේ මෙරටට ඉන්දීය සාම සාධක හමුදාවද ගෙන්වා ගනිමින්. එහිදී අපේ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය බැරැක්කවලට සීමා කෙරුණා. එහෙත් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් තම කටයුතු තවදුරටත් සිදුකරගෙන යමින් යුදමය අතින් ශක්තිමත් වීමට අවශ්‍ය පරිසරය සකසා ගත්තා.

1990 වසරේ ඉන්දීය හමුදා මෙරටින් යැවීමට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කළද ඒ වන විට කොටි සංවිධානය තම බලය බොහෝ ප්‍රදේශවල තහවුරු කරගෙන තිබුණා. නැගෙනහිර තෝරා ගත් පොලිස් ස්ථාන කිහිපයකට 1990 වසරේ ජුනි 11 වනදා ප්‍රහාර එල්ල කර අත්පත් කර ගැනීමට ත්‍රස්තයින් උත්සාහ දැරුවේ ඒ අනුවයි. මඩකලපුව, කල්මුනේ,අක්කරේපත්තුව, සමන්තුරේ,පොතුවිල්,කලවංචිකුඩි,  නිලාවේලි,කින්යා, උප්පුවේලි හා වරාය පොලීසිය මෙසේ ත්‍රස්තයින් යටතට පත්වුණා. පොලිස් ස්ථාන රැක ගැනීමට පොලිස් නිලධාරීන් ත්‍රස්තයින් සමග සටන් වදිද්දී ඉහළින් ලැබුණු අණකට අනුව ඔවුන්ට සිදුවූයේ අවි බිම තබා කොටි ත්‍රස්තයින්ට යටත් වීමටයි.

යටත් වූ පොලිස් නිලධාරීන් 700 දෙනෙකු පමණ අම්පාර මූලස්ථාන පොලීසිය වෙත භාර දෙන බව කොටි සංවිධානය පවසා තිබුණත් ඔවුන් එම පිරිස කැටුව ගියේ තිරුක්කෝවිල් කැලෑවටයි. රෑස්සමලේ මහ වනයේදී නිරායුධ පොලිස් භටයින්ට දිගට හරහට වෙඩි තැබූ කොටි ත්‍රස්තයින් ඔවුන් සියලු දෙනා අමානුෂික ලෙස ඝාතනය කළේ සම්මත යුද නීති මෙන්ම මානුෂවාදී නීතීන්ද අමු අමුවේ උල්ලංඝනය කරමින්. එම නිලධාරීන්ගේ සිරුරු සමූහ මිනී වළකට දමා ඇති බව පසුව කළ කැණීම්වලදී අනාවරණය වුණා. මෙම ම්ලේච්ඡ ඝාතනය සිදු වී 30 වසරක් ගත වී ඇතත් එම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම පිළිබද හඩ නගන කිසිදු සංවිධානයක් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ හඩ නොනැගීම අදටත් ගැටලුවක්. මව්බිම වෙනුවෙන් තම තම ජීවිතය පූජා කළ එම පොලිස් විරුවන්ට සාධාරණය ඉටු වන්නේ ඊට වගකිවයුත්තන්ට නීතිමය පියවරක් ගැනීමෙන් පමණක් බව එම විරුවන්ගේ ඥාතීන් පවසනවා. *

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්