2012 වසරේ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේදී එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා එහි රැදවූවන්ට වෙඩි තැබීමට උපදෙස් ලබා දුන් බවට ප්‍රකාශ කරන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ බව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ප්‍රකාශ කරනවා.
දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසන් සභාවේ සාක්ෂි ලබා දෙමින් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මේ බව සඳහන් කළේ.
2012.11.09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව උපදෙස් ලබා දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් තමන්ට ලැබිය යුතු උසස්වීම් නොලැබුණු බව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසන් සභාවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියා. වැඩිදුරටත් සාක්ෂි ලබා දුන් නියෝමාල් රංගජීව මහතා සඳහන් කළේ 2015 වසරේ අපේ‍්‍රල් 6 වනදා හෝ ඊට ආසන්න දිනයකදී එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ දැනට වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන් කාර්යාලයට කැඳවා වැලිකඩ කේස් එකේ ඔයාගේ නම තියෙනවා යනුවෙන් සඳහන් කළ බවයි. යහපාලන රජය සමයේ පැවති දින 100 ආණ්ඩුව තුළ වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කමිටුවේ තමන්ගේ නම සඳහන් වී ඇති බව පූජිත මහතා වැඩිදුරටත් කියා සිටි බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.
වැලිකඩ රුඳවියන්ට වෙඩි තැබීමට උපදෙස් දුන්නේ ගෝඨා කියලා කියන්න යැයි පූජිත් ජයසුන්දර මහතා මෙහිදී තමන්ට උපදෙස් දුන් බව ද පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව කොමිසම හමුවේ සඳහන් කළා. කෙසේ වෙතත් තමන් කිසිදු අවස්ථාවක පූජිත් ජයසුන්දර මහතාගේ ඉල්ලීම පරිදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මෙම සිද්ධියට අදාළ ප්රකාශයන්ට ඇතුළත් නොකිරීම හේතුවෙන් තමන් දැඩි දේශපාලන පළිගැනීමකට ලක් වූ බවයි ඔහු කොමිසම හමුවේ කියා සිටියේ. එවැනි උපදෙසක් පූජිත් ජයසුන්දර මහතා තමන්ට ලබා දුන්නේ කුමන හේතුවක් නිසාදැයි කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියා. ඒ වකවානුව වන විට පූජිත් ජයසුන්දර මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අතර පොලිස්පති ධූරය සඳහා සටනක් පැවති හෙයින් තමන්ට පොලිස්පතිධූරය ලබා ගැනීම සඳහා එවැනි ඉල්ලීමක් සිදු කරන්නට ඇති බව තමන්ට හැඟී යන බවයි නියෝමාල් රංගජීව මහතා කොමිසම හමුවේ සඳහන් කළා.