fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක පොලිස්කාරයාගේ මානව හිමිකමේ හැටි ලොවම දැකගනී (PHOTOS)

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2020 18:03

ඇමෙරිකා පොලීසියේ කෘෘරත්වය පෙන්නුම් කරන වීඩියෝ දර්ශන රැසක් සමාජ මාධ්‍ය හරහා මේ වන විට හුවමාරු වනවා. මෙම සිද්ධීන් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට විරෝධය පළ කරමින් පැවැත්වෙන උද්ඝෝෂණ අතරතුරදී සිදුවීම විශේෂත්වයක්.

නිව්යෝර්ක් නුවර උද්ඝෝෂණයක් අතරතුරදී පොලීසිය දෙසට පැමිණෙමින් සිටි වයස්ගත සුදු ජාතිකයෙකු පොලිස් නිලධාරියෙකු තල්ලු කිරීමත් සමගම ඔහු බිම ඇද වැටෙන අයුරු මාධ්‍ය අද වාර්තා කළා. අනතුරුව ඔහුගේ කනෙන් ලේ ඉවතට ගලන ආකාරය ද එම රූප රාමුවලින් දැකගත හැකි වුණා. කෙසේ වුව ද ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාඩම් කියාදෙන ලෝකයේම පොලිස් ලොක්කා වන ඇමෙරිකාවේ පොලිස් නිලධාරීන් එම නිරායුද මිනිසා කිසිදු ගණනකට නොගෙන හැර දමා යන අයුරු ද එම දර්ශනවල සටහන්ව තිබුණා.

අඛණ්ඩව 10 වන දිනටත් ඇමෙරිකාව පුරා විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වනවා. එහෙත් මේ වන විට එම විරෝධතා සාමකාමී ස්වරූපයක් ගන්නා බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය ගියේ ජාතිවාදය නම් භයානක වසංගතය හේතුවෙන් බව දේහය පිළිබද මතක සැමරුම් අවස්ථාවට එක්වෙමින් ඔහුගේ නීතිඥයා සදහන් කරනවා.

මතක සැමරුම් අවස්ථාවට එක්වූ ජනතාව විනාඩි 8 යි තත්පර 46 ක් නිහඩව සිටියා. ඒ ෆ්ලොයිඩ්ගේ ගෙල පොලිස් නිලධාරියා දණහිසෙන් තෙරපාගෙන සිටි කාලය සිහිපත් කිරීමටයි. සෙනට් මණ්ඩලය නියෝජනය කරන ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන් ද මිය ගිය කලු ජාතිකයා සිහි කරන අයුරු එරට මාධ්‍ය වාර්තා කර සිටියා.

ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ආධාර උපකාර කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුට අමතරව චෝදනා ලැබූ අනෙක් පොලිස් නිලධාරීන් 3 දෙනා ද පළමු වරට අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙහිදී ඔවුන්ට ඩොලර් මිලියනයක ඇප මුදලක් නියම කෙරුණු බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. ෆ්ලොයිඩ්ගේ ගෙලට දණහිස තබා මරණය සිදු කළ පොලිස් නිලධාරියාට එරෙහිව දෙවන පංතියේ මිනීමැරුම් චෝදනාවක් ගොනුකර ඇති අතර ඔහු එළඹෙන සදුදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මේ අතර කලු ජාතිකයන් ඝාතනයට විරෝධය දක්වමින් ලොව පුරා රටවල් රැසක විරෝධතා ආරම්භ කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ බර්නින්හැම් නගරයට රැස් වූ දහස් ගණනක් ජනතාව ෆ්ලොයිඩ්ට යුක්තිය ඉටු කරන ලෙස බලධාරීන්ට බලකර සිටියා. මෙක්සිකෝව තුළ ද පොලීසිය හා උද්ඝෝෂකයන් අතර දරුණු ගැටුම් වාර්තා වනවා. කෙසේ වුව ද මෙම විරෝධතා ව්‍යාපාර තහනම් කිරීමටයි ඕස්ට්‍රේලියා බලධාරීන් පියවර ගත්තේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2020 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්