2016 වසරේ අමාත්‍ය පාඨලී චම්පික රණවක සිදු කළ බව කියන රිය අනතුරක් පිළිබද සාක්ෂි වසන් කළේ යැයි සැක කෙරෙන වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මහතාට ඇප නියම කෙරුණා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්.
සැකකාර සුදත් අස්මඩල මහතා මේ අවස්ථාව වන විටත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් පිළිබද කරුණු හෙළි කිරීම වසන් කරමින් සත්‍ය සැගවීමට උත්සාහ කරන බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සදහන් කළා. මෙම වාතාවරණය මත අදාළ සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාව මත පමණක් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැකි බව පැවසුවා. සැකකරු අධිකරණය මග හැර යාමට ප්‍රවණතාවක් පවතින පුද්ගලයෙකු හෝ විමර්ශනවලට බාධා සිදු කළ හැකි බවට සෑහීමකට පත්විය හැකි කරුණු මෙතෙක් හෙළිව නොමැති බැවින් ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සැකකරු ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. ඒ අනුව සැකකාර සුදත් අස්මඩල මහතා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයත් මත මුදා හැරුණා.