පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් ප්‍රහාරය එල්ල වූ දිනයේ අලුයම් කාලයේදී සිය බිරිද හා දරුවන් බැලීම සදහා දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ පිහිටි තම නිවස වෙත පැමිණ ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිවුණා.
මේ අතර දෙමටගොඩ ප්‍රහාරය පිළිබද මෙතෙක් අනාවරණය නොවූ සීසීටීවී දර්ශන පෙළක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන කොමිෂන් සභාව ඊයේ (02) පියවර ගත්තා.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ ඊයේ (02) දිනයේ සාක්ෂි ලබා ගැනුණේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක සිදු වූ බෝම්බ ප්‍රහාර දෙක පිළිබදවයි. එහිදී මොහොමඩ් ඊබ්‍රහිම්ගේ බිරිද වන ෆාතිමා ජෙෆ්රි නමැත්තියගේ සහෝදරයෙකු සාක්ෂි සදහා කැදවා තිබුණා.
තමා හා තම නැගණිය සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ලෙස ජීවත් වූ බවත් විවාහයෙන් පසු නැගණියගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත් සාක්ෂි ලබා දීම ආරම්භ කරමින් ඔහු සදහන් කළා. 2016 වසරේ පැවති තම විවාහය සදහා ද තම නැගණිය සහභාගි නොවූයේ ඇයගේ හැසිරීම් රටාවේ දැඩි වෙනස පෙන්නුම් කරමින් බවයි ඔහු කොමිසම හමුවේ කියාසිටියේ. තම නැගණියගේ ස්වාමිපුරුෂයා වන ඉල්හාම් දැඩි අන්තවාදියෙකු බව පැවසූ සාක්ෂිකරු සදහන් කළේ මුස්ලිම්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද ඔහු විරෝධය පළ කළ බවයි. මුස්ලිම්වරුන් ඡන්දය පළ කළ යුත්තේ ඉස්ලාම් රාජ්‍යයක ඉස්ලාම් නායකයෙකු පත්කර ගැනීම සදහා පමණක් බව ඉල්හාම්ගේ අදහස බව ද සාක්ෂිකරු කොමිසම හමුවේ කියාසිටියා.
එමෙන්ම අවසාන කාලයේදී ඉල්හාම් හා තම පියා අතර මත ගැටුමක් පැවති බවත් තම පියා අසරණ සිංහල ජනතාව වෙනුවෙන් පිහිට වීම එම ගැටුමට හේතු වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ හෙළි කළා. ඔවුන්ගේ අන්තවාදී අදහස් පිළිබද තවදුරටත් කොමිසම හමුවේ හෙළි කරමින් සාක්ෂිකරු සදහන් කළේ තම නැගණිය දරුවන්ට ලබා දිය යුතු එන්නත් ලබා දීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි.
එමෙන්ම දරුවන් පාසල් යැවීමට ද කටයුතු කර නැති බව කොමිසම හමුවේ ඊයේ හෙළි කෙරුණා. කෙසේ වෙතත් 2019 අප්‍රේල් 21 වනදා තම නැගණිය මවට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවත් එහිදී අම්මේ ඉක්මණට එන්න යැයි පවසමින් අමතා ඇති බවත් සාක්ෂිකරු කොමිසමට සදහන් කළා. කෙසේ වෙතත් එදිනම උදෑසන 10 ත් 11 ත් අතර කාලය තුළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු නිවසට පැමිණි අවස්ථාවේදී තම නැගණිය බෝම්බයක් පුපුරුවාගෙන ඇති බවත් ඔහු සදහන් කළා.
ඒ අනුව අදාළ බෝම්බය පුපුරා යන දර්ශන ඊයේ (02) දිනයේදී මාධ්‍යයට නිකුත් කෙරුණු අතර සී සී ටීවී කැමරා කාචයේ එම දර්ශන සටහන් වී තිබෙන්නේ මේ අයුරින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/GVzr7vUsP_0″]