ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයට අයත් බැංකු ගිණුම්වලින් ණය මුදල් ලබා ගැනීම හා චෙක්පත් අත්සන් කිරීම වළක්වාලමින් එම වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු හා ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන මහත්වරුන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ දිසා අධිකරණය මගින්.
එම වෘත්තීය සමිතියට සම්බන්ධ මැටිවල ගෙදර ගුණතිලක සහ සිවානුරාසා පාක්‍යනාදන් යන සාමාජිකයන් දෙදෙනා ගොණු කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය දින 14 ක් බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කළා. ඊට අමතරව මෙම වෘත්තීය සමිතියට සම්බන්ධ වාහන දෙකක් පෞද්ගලික පරිහණයට යොදා ගැනීම වළක්වාලමින් එහි ප්‍රධාන ලේකම් වඩිවේල් සුරේෂ් මහතා වෙත තවත් වාරණ නියෝගයක් නිකුත් කෙරුණා.
අදාළ වෘත්තීය සමිති සභාපතිවරයා සහ ලේකම්වරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගය යටතේ ඉදිරි මහමැතිවරණයට තරග කරන බවයි පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කළේ. වඩිවේල් සුරේෂ් මහතා එම වෘත්තීය සමිතියට අයත් බැංකු ස්ථාවර තැන්පතු මුදල් ඇපයට තබා එක්තරා මූල්‍ය ආයතනයකින් රුපියල් මිලියන 03 ක ණය මුදලක් ලබා ගෙන ඇති බවද සදහන් කෙරුණා. ඔහු වෘත්තීය සමිතියට අයත් වාහන දෙකක් පෞද්ගලික පරිහණයය යොදා ගෙන ඇති බව පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා.
මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් විත්තිකාර හරීන් ප්‍රනාන්දු හා වඩිවේල් සුරේෂ් යන අය වෘත්තීය සමිතියට බරපතල අගතියක් සිදු කර ඇති බවයි චෝදනා කරන්නේ. ඔවුන්ට එම ධුර දැරීමට නීතිමය හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අදාළ වෘත්තීය සමිතියට අයත් බැංකු ගිණුමෙන් චෙක්පත් අත්සන් කිරීම හා ණය පහසුකම් ලබා ගැනීම වළක්වාලමින් හරීන් ප්‍රනාන්දු සහ වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන්ට මෙම වාරණ නියෝගය නිකුත් කළා.