සිය සේවා කාලය අවසන් කළ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.
සිව් වසරකට ආසන්න කාලයක් මෙරට බංග්ලාදේශ මහකොමසාරිස්වරයා ලෙස සේවය කළ තමාට දැක්වූ සහාය පිළිබද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයා වෙත කෘතඥතාව පළ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ අවදියේ දෙරට අතර රාජ්‍ය සබදතා උසස් මට්ටමක පැවතුණ බව හමිදුල්ලා මහතා මෙහිදී සිහිපත් කළා.
වෙළෙද, කෘෂිකර්මාන්ත හා ධීවර යන ක්ෂේත්රවල විවිධ අංශයන් හි පවත්නා සබදතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද මහකොමසාරිස්වරයා මෙහිදී කියාසිටියා. ශ්‍රී ලංකාවේදී ඉටු කළ සේවය වෙනුවෙන් මහකොමසාරිස්වරයාට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා තම දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් සුබ පැතුම් එක් කළ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හෂීනා මහත්මියට සිය ප්‍රශංසාව පුද කරන ලෙස ද දන්වා සිටියා.
බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව සංවිධාන කළ මව් භාෂා දින වැඩසටහන අගය කළ අග්‍රාමාත්‍යවරයා එවැනි ක්‍රියා අඛණ්ඩව පවත්වාගෙන යන මෙන් ධුරයේ අලුතින් වැඩ භාර ගන්නා මහකොමසාරිස්වරයාට ද දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටියේ.
බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස එරට අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනාවක් ද කළා.
මේ අතර නෝර්වේ ශ්‍රී ලංකා නව තානාපති ගොඩ්රි කුරේ මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. එහිදී නව තානාපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කළා.