ජුනි 20 වනදා මහමැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොණු කර ඇති පෙත්සම් විභාගට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය හෙට පස්වරු 03ට ප්‍රකාශයට පත් කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කළා.
අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය හමුවේ අද දිනයේද මෙම ඡන්ද පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේයි මේ බව නිවේදනය කෙරුණේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් පිළිතුරු දේශන ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවාහල පමණින් එහි අඛණ්ඩතාව බිද වැටීමක් සිදු වන්නේ නැති බවයි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට බලයක් නැති බවට ඔහු දිගින් දිගටම කරුණු දැක්වුවා. සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද කරුණු දැක්වීම අවසන් කළා. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ මැතිවරණය පැවැත්වීම හිතා මතාම ප්‍රමාද කරන බවට මතුකළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. කොරෝනා වසංගතය හමුවේ මැතිවරණය කල් දැමුවේ සෞඛ්‍ය බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව බව ඔහු පෙන්වා දුන්නා. මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීමට සති 09 ක් සහ 11 ක් අතර කාලයක් ඉල්ලා සිටි බවයි ඔහු තවදුරටත් ඉල්ලා සිටියේ. මැතිවරණ කොමිසම සහ එහි සාමාජික රත්නජීවන් හූල් මහතා අතර විකල්ප මත පැවතියද කොමිසමේ ක්‍රියාකාරීත්වයට එය බාධවක් නොවන බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ. මැතිවරණය කල් දැමීම මැතිවරණ කොමිසම නීත්‍යානූකූලව සිදු කර ඇති බැවින් එම කොමිසමට එරෙහි කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියා. සියලු කරුණු විමසීම් අවසන් කිරීමෙන් අනතුරුවයි පෙත්සම් විභාගයට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය හෙට පස්වරු 03ට ප්‍රකාශයට පත් කරන බවට නිවේදනය කළේ.