අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය ගම්පොළ වෙත අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවා. දේහය කොත්මලේ රන්බොඩ වැවන්ටන්වත්ත පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා 1994 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වුණා. එදා සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා ජීවිතයෙන් සමුගන්නා අවස්ථාව තෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළා. වත්මන් රජයේ ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ඒ මහතායි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය දරමින් වතු ජනතාව වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කළ ඒ මහතා ප්‍රකට දේශපාලනඥයෙකු වූ සෞම්‍ය මූර්ති තොන්ඩමන් මහතාගේ මුණුපුරෙකු වනවා. අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් ගම්පොළ ක්‍රීඩාංගනය වෙත අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවා. එහි සිට රිය පෙරහැරකින් කොත්මලේ රන්බොඩ වැවන්ටන්වත්තේ පිහිටි අමාත්‍යවරයාට අයත් නිවස වෙත රැගෙන ඒමටයි කටයුතු කෙරුණේ. අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාගේ 56 වන ජන්ම දිනය ද අදට යෙදී තිබෙනවා. අමාත්‍යවරයාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානය වෙත හෙට උදෑසන රැගෙන ඒමට නියමිතයි. දේහය පිළිබඳ අවසන් කටයුතු නෝර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහය ගෞරව සහිතව අනිද්දා පස්වරුවේ සිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
මේ අතර අමාත්‍යවරයාගේ අභාවයෙන් ශෝකයට පත් වතු කම්කරු ජනතාව අභාවය සැල වූ දින සිට මේ දක්වාම දෛනික කටයුතුවලින් ඉවත්ව සිටිනවා. ප්‍රදේශය පුරා සුදු කොඩි ඔසවා ශෝකය පළ කිරීමටයි ජනතාව කටයුතු කර ඇත්තේ.